2009 ජූලි - දෙසැම්බර් කලාපය

පෙළ ගැස්ම

සංස්කාරක සටහන
සමාජීය විද්‍යා පර්යේෂණ - ඉතිහාසය හා අනාගතය
ප්‍රභාත් ගලගමගේ
සමුපකාරය හදුනාගනිමු (2)
එස්. නන්දලාල්
පුද්ගල සංවර්ධනය තුලින් ඵලදායී සේවාවක්
හිරන්ති චතුරානි ගුරුසිංහ
පොදු අභිරුචීන් මත මිනිසා සමූහනයවීම - සංස්කෘතික මානව විද්‍යාත්මක ඇසකින්
ප්‍රභාත් ගලගමගේ
වැඩ පරිසරයක් තුල මානසික ආතතිය කලමනාකරණය හා ක්ලමතය කලමනාකරණය
ඩබ්ලිව්. ජී. එන් ප්‍රනාන්දු
වැඩිහිටි අධ්‍යාපන ශිල්පක්‍රමයක් ලෙස කණ්ඩායම් වැඩ
ප්‍රභාත් ගලගමගේ
සමථකරණය - ගැටුම් නිරාකරණයේ හොදම ආකෘතියක් ලෙස
ප්‍රභාත් ගලගමගේ
සමුපකාර අනන්‍යතාවය පිළිබඳ ප්‍රකාශය
අනුවර්තනය:- ප්‍රභාත් ගලගමගේ

ලේඛකයන් පිළිබඳව

සංස්කාරක සටහන

පුරෝගාමීත්වයේ වසරක් තුල සම්මානලාභී ඉ-අන්තර්ගතයක් බවට පත්වූ වගයි..

සමුපකාර සංවර්ධන ඊ-සඟරාව සිංහල බසින් ප්‍රකාශයට පත් වන සමුපකාර අධ්‍යයන විෂයය ක්ෂේත්‍රයට අදාල ප්‍රථම සිංහල භාෂීය ඊ-සඟරාව පමණක් නොව සිංහල බසින් ප්‍රකාශයට පත්වන පළමු ශාස්ත්‍රීය ඉ-අන්තර්ගතයද වේ. මෙම සඟරාව ප්‍රකාශයට පත්වන දක්ෂිණ සමුපකාර අන්තර්ජාල බිහිදොර වෙබ් අඩවිය ජනාධිපති කාර්යාලය හා තොරතුරු හා සංනිවේදන තාක්ෂණ නියෝජිතායතනය (ICTA) ඒකාබද්ධව සංවිධානය කල ඉ-ස්වාභිමානී 2009 - හොදම ඉ-අන්තර්ගතය තේරීමේ ජාතික සම්මාන උළෙලේදී ‍රාජ්‍ය අංශයේ හොදම ඉ-අන්තර්ගතයට හිමි සම්මානය හිමිකරගන්නා ලදී. සමුපකාර සංවර්ධන ඊ-සඟරාවේ 2009 වසරේ ජූලි - දෙසැම්බර් කලාපය නිකුත් කරන්නේ එම සම්මානයේ අභිමානයද සමගිනි. එය හුදු අභිමානයක් නොව සමුපකාර ව්‍යාපාරය වෙනුවෙන් යමක් කිරීමට අප ගත් උත්සාහය පිළිබඳ අවංක සතුටකි. ඉ-ස්වාභිමානී සම්මානය ඉ-අන්තර්ගත නිර්මාණය පිළිබඳව හිමිකරගත හැකි ඉහලම ජාතික සම්මානයයි. එය තාක්ෂණය පිළිබඳ පසුගාමී ව්‍යාපාරයක් ලෙස සමාජීය සංජානනයකට ලක්වන සමුපකාර ව්‍යාපාරය නියෝජනය කරන ආයතනයක් හිමිකර ගැනීම ව්‍යාපාරය හා බැදි සැමගේම සතුටට හේතුවන බව අපි දනිමු.මෙතෙක් කල් අප වෙබ් අඩවිය හා එහි ඉ-අන්තර්ගතය සමඟ එක්වූ සියල්ලන්ටම අපගේ හෘදයාංගම ස්තූතිය පිරිනමමු.
ප්‍රභාත් ගලගමගේ
සංස්කාරක
gprabath@gmail.com

සමාජීය විද්‍යා පර්යේෂණ - ඉතිහාසය හා අනාගතය

සමුපකාර අධ්‍යයන විෂයය ක්ෂේත්‍රය තුලදී සමාජීය විද්‍යා පර්යේෂණ පිළිබඳ දැණුම අත්‍යාවශ්‍යවේ. අනෙක් විෂයය ෂේත්‍රයන්ගේ දැනුම මත පමණක් රදා පවතින්නේ නම් සමුපකාර අධ්‍යයනය විෂයය ස්වාධීන විෂයක් ලෙස සංවර්ධනය නොවේ. තම විෂයයට ආවේනික පර්යේෂණ කටයුතු සිදු කිරීම විෂයය සංවර්ධනයට කැපවී සිටින ආයතන හා පුද්ගලයන්ගේ වගකීමකි. සමුපකාර අධ්‍යයනයට වැදගත් වන්නේ සමාජීය විද්‍යා පර්යේෂණ ක්‍රමවේදයයි. මේ ඒ පිළිබඳ සටහනකි.

සමාජීය විද්‍යා පර්යේෂණ දිගු සම්ප්‍රදායකට හිමිකම් කියමින් නූතන ලෝකයේ තහවුරු වී ඇති පර්යේෂණ මාදිලියකි. එහි ආරම්භය ග්‍රීක දාර්ශනිකයන් දක්වාම අවශ්‍ය නම් දිගුකල හැක. ප්ලේටෝ හා ඇරිස්ටෝටල් ක්‍රි.පූ හතරවන සියවසේදී පැවති විද්‍යාත්මක දැණුම හා මානව පළපුරුද්ද ඔස්සේ දැණුම සංකල්පීකරණය හා වර්ගීකරණය පිළිබද මාවතක් වර්ධනය කලේය. මූලිකව සමාජීය විද්‍යා පර්යේෂණ මිනිසුන් - ඔවුන්ගේ ජීවිත සන්ධර්භය - දැණුමේ ස්වාභාවය හා සත්‍ය පිළිබඳ දාර්ශනික ප්‍රශ්ණ මත පදනම් වේ. අනුභවික සමාජීය විද්‍යා පර්යේෂණ මිනිසුන් හා මිනිස් සමාජීය සංධර්භය පිළිබඳ විධික්‍රම පරාසයක් ඔස්සේ දත්ත රැස්කිරීමට අවතීර්ණ වේ. මෙම විධික්‍රමයන් දැඩි ලෙස පදනම් වන්නේ මානව විද්‍යාව, සමාජ විද්‍යාව, මනෝ විද්‍යාව හා ඉතිහාසය යන විෂයයන් වර්ධනය කල දෘඩතර සම්ප්‍රදායන් මතය. මානව විද්‍යාව අපට ඉදිරිපත් කරන්නේ සහභාගිත්ව ගවේශන (හෝ සහභාගිත්ව නිරීක්ෂණ) සහ සම්මුඛ සාකච්ඡා සම්ප්‍රදායයි. එසේම සමාජ විද්‍යාව ඔස්සේ සමාජ සබඳතා ගොඩනැංවීම හා ප්‍රතිනිශ්පාදනය වන ආකාරය හදුනා ගැනේ. මනෝ විද්‍යාව මිනිස් චර්යාව තේරුම් කරයි. ඉතිහාසය ලේඛන විශ්ලේෂණයේ සම්ප්‍රදාය ඉදිරිපත් කරයි. එයට චිරන්තන ලේඛන මෙන්ම ප්‍රවර්තන ඒවාද ඇතුලත් වේ.

සමාජ විද්‍යා විෂය පිළිබඳ භාවිතයන් ඒවා නිර්මාණය වූ ජාතික රාජ්‍යයන්ගේ හා ඒවායේ දේශපාලනික ත්ත්වයන් මත පදනම් නොවූවා යැයි කිව නොහැක. පුද්ගලයන් හා ජන ගහනයන් වර්ගීකරණයේදී හා විශ්ලේෂණයේදී මෙම සාධක ක්‍රියාත්මක විය. හොදම උදාහරණය මානව විද්‍යාව අධිරාජ්‍යවාදී කොලනිකරණයට සහය දැක්වීමයි. සමාජීය විද්‍යාවේ ප්‍රබල කාරණයක් වන්නේ ස්වාභාවික විද්‍යාවට එම විෂය ක්ෂේත්‍රය දක්වන සබදතාවය (හෝ සමහර විට පිළිමල් බව) පිළිබඳ හැගීමයි. විසිවන සියවසට පෙර සමාජීය විද්‍යාඥයෝ සටන් කලේ තම විෂයයන් ස්වාභාවික විද්‍යාව සමග එක පෙළට තැබීමටය. සමාජීය විද්‍යා පර්යේෂණ ස්වාභාවික විද්‍යා පර්යේෂණ වලින් වෙනස් වන්නේ ඒවා නාභිගත වන්නේ මිනිසුන්, පුද්ගලයා, සමූහ සහ ඔවුන්ගේ චර්යාවන් තුලට වීම නිසාය. මානව චර්යාවන් පිළිබඳ පෙර දැකීම් සිදු කිරීම අපහසුය. සමාජීය විද්‍යාවන් තුල දිගු කාලීනව පැවති සංජානනය එයයි. නමුත් මෙම සංකීර්ණ හා ගතික ප්‍රපංචය – මානව හැසිරීම – පුරෝකතනයට අවශ්‍ය මෙවලම් දියුණු කිරීමට සමාජීය විද්‍යාඥයන්ට සිදුවනු ඇත. ඒ සඳහාද පර්යේෂණ ක්‍රමවේදයේ නැමියාවක් අවශ්‍ය වනු ඇත. එමෙන්ම බහු ශික්ෂිත ප්‍රවේශයක්ද අවශ්‍ය වනු ඇත. ස්ත්‍රීවාදී න්‍යායන් ඔස්සේ සමාජීය විද්‍යා දෘෂ්ටින්ගේ වර්තනයක් විසිවෙනි සියවසේ අවසාන භාගයේදී ඇති වූයේය. සමාජීය විද්‍යා න්‍යායන් ගොඩනැංවී ඇත්තේ අසමානතාවය මත බව මෙම න්‍යායායන් තුලින් පැහැදිලි කරනු ලැබිණි. මේ මත සමාජීය විද්‍යා පර්යේෂණ ක්‍රියාවලියේ සෑම මට්ටමකම – සහභාගිවන්නන් සමඟ ඇති සබදතාව, දත්ත රාශිකරණ විධි, විශ්ලේෂණ සංකල්ප තෝරා ගැනීම, වාර්තාකරණ ප්‍රවේශය – ප්‍රති ව්‍යුහගතවීමක් සිදුවිය. මෙම වැඩකටයුතුවල ප්‍රධාන විශේෂාංගය වූයේ කාන්තා සමාජීය විද්‍යාඥයන් විසින් පැරණි ගොඩනැංවීම් නව මානයකින් කියවීමයි.

පශ්චාත් නූතනවාදය වර්තමානයේදී සමාජීය විද්‍යා ඔස්සේ සිදුකල ගොඩනැංවීම් දෙසට ප්‍රහාර එල්ලකරමින් සිටී. ඔවුන් ඒවා මහා ආඛ්‍යාන (grand narrative) ලෙස නම් කරමින් සිටී. මෙම විවේචනයන්ට පිළිතුරු දිය හැකි වන්නේ සමාජීය විද්‍යා පර්යේෂණ ඔස්සේ කෙරෙන ගොඩනැංවීම් වඩා සත්‍යාසන්න කිරීමයි. එය ස්වාභාවික විද්‍යාවේදී තරම් සුමට වන්නේ නැත. මන්ද පර්යේෂනාගාරය සමාජය වන බැවිනි. එහි පාලිත තත්වයන් ඇතිකල නොහැක. මේ නිසා සංසන්දනයන් අපහසුය – බොහෝවිට කිසිසේත් නොහැකිය. එසේම සමාජය යනු ස්වාභාවික ප්‍රපංචයන්ට සාපේක්ෂව අතිශය අධි වේගයෙන් වර්ධනය වන ගතික එකකි. එහි එක් නිමේශයක් ඊලග නිමේශය හා සම නොවේ. මේවා සමාජීය විද්‍යාවන්ගේ පර්යේෂණ හා න්‍යාය ගොඩ නැංවීම තුලදී හමුවන ගැටලුය.

සමාජීය විද්‍යාවන්ගේ විශේෂිත අංශ වන සමාජ විද්‍යාව හා මනෝ විද්‍යාව මිනිසුන් අධ්‍යයනය සඳහා වන න්‍යාය හා සංකල්ප සපයයි. ඒවා ව්‍යවහාරික විෂයන් වන අධ්‍යාපන විද්‍යාව, සෞඛ්‍ය විද්‍යාව, සමාජ වැඩ, ව්‍යාපාර පරිපාලනය වැනි විෂයන් උපයෝගී කර ගනු ඇත.

සමාජීය විද්‍යා පර්යේෂණ වලදී ආචාර ධාර්මික ප්‍රතිපදානයන් වර්තමානයේදී අතිශය වැදගත් වේ. දැණුම බලය සම්පාදනය කරයි. එබැවින් දත්ත රාශිකරණයේදී පර්යේෂකයන් සම්මත ආචාර ධර්ම අනුගමනය කල යුතු අතර ඒවා තෙවැනි පාර්ෂවයකට දුෂ්පරිභෝජනය සඳහා යොමු නොකිරීම අතිශය වැදගත් වේ. අනෙක් වැදගත් කාරණය බුද්ධිමය දේපල අයිතිය සුරකීමයි.

වර්තමානයේ සමාජීය විද්‍යාඥයන් තම තමන්ගේ දේශීය හා ජාතික රාමුවෙන් ඔබ්බට ගමන් කොට ගෝලීය තලයකට ගමන් කිරීමට උත්සහ කරති. නමුත් ගෝලීය තලය ද විවාදාත්මකය. මන්ද සමාජීය විද්‍යා ශික්ෂණයන් සේවය කරන්නේ ජාතිකව පැන නැංවුණු ව්‍යාපෘතීන් සඳහා වන අතර ගෝලීයකරණය යනු ජාතික රාජ්‍ය පිළිබඳ නව ගැටලුවක්, ප්‍රශ්නකාරී බවක් පැන නංවූවක් වන බැවිණි. ගෝලීයකරණය - අනන්‍යතාවයේ ස්වාභාවය, සංස්කෘතිය හා සමාජ සබඳතා පිළිබඳව, බලයේ හා ආධිපත්‍යයේ නව සැකැස්ම පිළිබඳ ගැටලුව තරමටම ගැටලුකාරී වූ ක්ෂේත්‍රයකි. මෙම මහා පරිමාන ගෝලීය ගතිකය සමාජීය විද්‍යාවන්ගේ මධ්‍ය ලක්ෂයටම ආමන්ත්‍රනය කරමින් සිටී. එය සමාජ විද්‍යාව හා මානව විද්‍යාව මතු නොව ප්‍රතිපත්ති සම්පාදනය දක්වාම විහිදී යන්නකි. සමාජීය විද්‍යා පරියේෂණ සම්බන්ධයෙන්ද මෙම ගෝලීය ප්‍රතිපදානයන් තවදුරටත් නොතකා හැරිය නොහැක. මේ අනුව අනාගත න්‍යායන් ඇරඹෙනු ඇත්තේ ජාතික මට්ටමට වඩා ගෝලීය මට්ටමට ආමන්ත්‍රනය කරමිනි. මෙම තත්වය පර්යේෂණ ක්‍රමවේදය හා පර්යේෂණ ක්‍රම පිළිබඳ හා විෂයය පථය පිළිබඳ බලපෑමක් ද ගෙන එනු ඇත. සමාජීය විද්‍යාඥයන්ට වඩ වඩා අන්තර් ශික්ෂිත කාර්යයන් සඳහා බල කෙරෙනු ඇත. එයට ඔවුන්ගේ සමහර කණ්ඩායම් තුලින් දිගු කාලීන ප්‍රතිරෝධයක්ද බලාපොරොත්තු විය හැක. නමුත් ගැලවීමක් රහිතයි, ගෝලීයකෘත ලෝකයක ස්වාභාවය එයයි.

කියවීම්
Somekh, Bridet and othes
2005.Reseach Communities in the Social Sciences. Research Method in Social Sciences. Edited by Bridget Somekh and Cathy Lewin. Vistaar Publications. New Delhi
Grbich, Carol
2007.Qualitative Data Analysis.Sage Publications.New Delhi

සමුපකාරය හදුනාගනිමු (2)

‍මෙම ලිපියේ පළමු කොටස 2009 ජනවාරි-ජුනි කලාපයේ පලවිය. මේ එහි ඉතිරි කොටසයි.

විලියම් කිං නැමති වෛද්‍යවරයා

පෙර ලිපියේ අප සාකච්ඡා කලේ සමුපකාර ව්‍යාපාරයේ ආරම්භක අවධියේ සමාජවාදී ව්‍යාපාරයට එහි තිබූ නෑකමයි. ඊට හේතු වූයේ රොබර්ට් ඕවන් මහතා සහ ඔහුගේ අනුගාමිකයින් ' සමාජවාදීන්' ලෙසින්ද හදුන්වනු ලැබීමයි. රොබට් ඕවන් මහතා පමණක් නොව ඒ වකවානුවේ එංගලන්තයේ විසූ බොහෝ පුද්ගලයෝ විවිධාකාරයෙන් “සමුපකාර ක්‍රියා සන්තතිවල” යෙදී සිටියෝය. ඔවුන්ගේ ක්‍රියාකාරකම් ද රොච්ඩේල් පුරෝගාමීන්ගේ සමිතිය ඇරඹෙන්නට හේතු කාරක වන්නට ඇත. එබැවින් සමුපකාරය සහ සමාජවාදය අතර පැවැති සබදතාව ගැන වැඩිදුර කතා කීරීම කල් තබා මූලාරම්භ අවස්ථාවේදී ඊට ප්‍රාණ වායුව සැපයූ අනෙකුත් පුද්ගලයන් ගැන අවධානය යොමු කිරීම මැනැවැයි හඟිමු.

එවැනි අය අතරින් ඉදිරියෙන්ම සිටි පුද්ගලයාය. බ්‍රයින්හි වෛද්‍ය විලියම් කිං (1786-1865). වෛද්‍යවරයෙකු වූ හේ තෙමේ දිළිදු මිනිසුන් කෙරේ පතල කරුණාවෙන් ඔවුන්ට ප්‍රතිකාර කළා පමණක් නොව ඔවුන්ගේ ආර්ථික ගැටලු විසඳීම කෙරේ ද උත්සුක වීය. ඔහු හැඳන්වුනේ බ්‍රයිටන්හි දුප්පතුන්ගේ දොස්තර යන අන්වර්ථ නාමයෙ නි.

 

වෛද්‍ය කිං මැල්තස්ගේ න්‍යාය (Mathus' theory) නම් සුප්‍රකට ආර්ථික සිද්ධාන්තයට එරෙහිව සිය මතය පළ කිරීමෙන් මුලින්ම විද්වතුන්අතර ප්‍රකට විය. මැල්තස් න්‍යායට අනුව දිළිඳුකමට හේතුව වන්නේ අධික ජනගහනය වේ. ජනගහනය වැඩි වන විට සීමිත සම්පත් බෙදී යාමේ විසම බවක් ඇති වෙයි.. එහෙත් වෛද්‍ය කිංගේ මතය වූයේ දිළිඳු කමට හේතුව අධි නිෂ්පාදනය බවයි. කම්හල් (කාර්මික විප්ලවය සමයේ බිහිවුණු) නවීන යන්ත්‍ර සූත්‍ර භාවිතයෙන් තරගකාරීව භාණ්ඩ නිෂ්පාදනය කරන විට වෙළෙඳ පොළේ ඒවායේ මිල පහත බසී. එවිට නිෂ්පාදකයාට ලැබෙන ආදායම අඩු වීම නිසා ශ්‍රමයට කරන ගෙවීම නොහොත් වැටුප අඩු කරන්නට සිදු වෙයි. ප්‍රාග්ධන ආයෝජකයා (Capitalist) සැමවිටම බලන්නේ සිය ලාභය වැඩි කර ගන්නට ය.මෙයට පිළියම් ලෙස වෛද්‍ය කිං කියා සිටියේ ප්‍රාග්ධන ආයෝජනය සාමූහික විය යුතු බවයි .සහයෝගිතා (Cooperative) පදනමින් ප්‍රාග්ධනය යෙදැවිය හැකි නම් ලාභය සාමූහික අයිතියක් ඇති දෙයක් බවට පත්වන නිසා වැටුප් යහමින් ගෙවන්නට පෙළඹවීමක් තිබෙනු ඇත. වැටුප් අඩුවෙන් ගෙවා වැඩිලාභයක් අත්කර ගැනීම වෙනුවට, ලාභය ගොඩ ගසා ගැනීම ගැන නොසිතා වැඩි වැටුප් ගෙවිය හැක්කේ සහයෝගිතා (Cooperative) ක්‍රමයකින් බැව් ඔහු ප්‍රකාශ කළේය.

1825 වසරේ දී යාන්ත්‍රිකයින්ගේ ආයතනය නම් වූ ආයතනයක් එංගලන්තයේ බ්‍රයිටන් හි පිහිටු වනු ලැබිණි. වෛද්‍ය කිංට ද මෙහි සාමාජිකත්වය ලැබිණි. මෙකල ක්‍රියාත්මක වූ ලන්ඩන් සහයෝගිතා සමිතියේ (London Cooperative Society) ක්‍රියාධරයෙකු වූ විලියම් බ්‍රයන් නැමැති අය, ලන්ඩන් සහයෝගිතා සමිතිය ආරේ වූ “බ්‍රයිටන් සහයෝගිතා යහ සාධක අරමුදල් සමිතිය ''

නම් සමිතියක් 1827 දී පිහිටු වීය. මෙහි ප්‍රවර්ධන කටයුතු භාර වූයේ වෛද්‍ය කිං ට ය.

 

වෛද්‍ය කිං, සහයෝගිතා ව්‍යාපාරය ප්‍රචලිත කරනු වස් 'සමුපකාරිකයා' (The Cooperator) නමින් කුඩා වාර ප්‍රකාශනයක් 1828 මැයි මස ඇරඹීය. සමාජය තුළ පෘථුල ලෙස සමුපකාරය පැතිරවීමේ වැදගත්කම සාකච්ඡා කිරීම සහ සහයෝගිතා ව්‍යාපාරවල යෙදෙන අය සංවිධානගත වීමේ අවශ්‍යතාව අවධාරණය කිරීමත් මෙහි අරමුණු අතර වීය. එහෙත් මූලික අරමුණ වී තිබුණේ සහයෝගිතා (Cooperative) මතවාදය ප්‍රචලිත කිරීම ය.

 

වෛද්‍ය කිං ගේ සහයෝගිතා ක්‍රියාකාරකම් තුළ වෙළෙඳසැල් පාලනයත් , සමාජය යහපත් තැනක් බවට පත්කිරීමේ ක්‍රියාමාර්ගත් අඩංගු විය. සමාජය යහපත් කිරීම සදහා වූ ඔහුගේ චින්තනය ට්‍රැක්ටරයක් නම් , වෙළෙඳසැල් පාලනය ට්‍රෙලරයක් ලෙස එයට ඈඳී තිබුණි. ඕවන් , තොම්සන් වැනි දාර්ශනිකයින්ගේ උතෝපියානු සංකල්ප ප්‍රායෝගිකත්වයට ගෙන ඒම වෛද්‍ය කිං ගේ අභිප්‍රාය වීය. ඔහුගේ සංකල්පය යූයේ අන්‍යොන්‍ය වෙළෙඳාමෙන් සහ සහයෝගිතා ශ්‍රමයෙන් නිපන් ඉතුරුම්වලින් ප්‍රාග්ධනකරණය වූ වාණිජ ව්‍යාපාරයකි.එවැනි ව්‍යාපාරික ආයතනයක් ඇරඹීමට එකල තිබූ ප්‍රධානතම බාධාව වූයේ ප්‍රාග්ධනයයි. සියලු දෙනා එකසේ දිළිඳු වූ අතර, කොටස් වශයෙන් හෝ ප්‍රාග්ධනයට දායක වන්නට ඔවුහු නොසමත් වූහ. මේ සඳහා ඕවන් මහතා ගේ ක්‍රමය වූයේ ධනවතුන්ගෙන් ප්‍රාග්ධනය ලබා ගෙන ස්ව- උපකාර කොළණි පිහිටුවාලීමය. එහෙත් කිං දොස්තර මහතාගේ අදහස ඊට වෙනස් විය. ඔහු යොමු වූයේ පාරිභෝගික අංශයටය.

මුදල් එකතුකොට එමගින් අවශ්‍ය දෑ තොග මිලට මිලදී ගෙන තම තමන් අතර බෙදා ගැනීමේ ක්‍රමයක වාසි සහගත බව දුටු ඔහු ජනයා ඊට පෙළැඹීවීය. විශාල ප්‍රාග්ධනයක් නොමැතිව ව්‍යාපාරික කටයුත්තක් ඇරඹීමේ එකම මග සමුපකාර ක්‍රමය බව ‍ඔහු පෙන්වා දුන්නේය. කෙනෙකුට සිය වැටුපෙන් කිසියම් කොටසක් රෝගාබාධයකදී හෝ රැකියාවක් නොමැති අවස්ථාවකදී ප්‍රයෝජනයට ගනු පිණිස සුරකිය හැකි නම්, ඒ සුඵ කොටස හවුල් මිලදී ගැනීම් ක්‍රියාවලියක ආයෝජනය කලහැකි බව පෙන්වාදුන් තැනැත්තා ඔහුය. එලෙස ඇති කරගන්නා ව්‍යාපාරයක් තම තමන් විසින්ම පාලනය කරනු ලැබීමෙන් ප්‍රාග්ධනය විශාල වනු ඇතැයිද හේ කීය. ලාභය එක්කෝ ප්‍රාග්ධනයට එකතු වන්නට ඉඩ හැරිය හැකිය, නොඑසේ නම් තම තමන් අතර බෙදා ගත හැකිය. එහෙත් එසේ බෙදා ගන්නවා නම්, එය කල යුත්තේ සීමාවක් ඇතිවය.

මේ අයුරින් පවත්වාගෙන යන ව්‍යාපාරික කටයුත්ත පුළුල් වන්නේ නම්, තමන්ගේම වෙළද සැලක් ඔවුන්ට ඇරඹිය හැකි වනු ඇත. මේ වෙළද සැල අනෙක් වෙළද සැල් සමඟ තරඟකාරී වෙළදාමක් පවත්වාගෙන යාමෙන් ජනයාට සේවයක් සැලසෙනු ඇත. කිසියම් සුවිශේෂී භාන්ඩයකට විශේෂ ඉල්ලුමක් ඇතිනම් එය නිශ්පාදනය කල හැකිය. එවිට රැකියා අවස්ථා උත්පාදනය වෙයි. එම පාරිභෝගික භාන්ඩය කෘෂි නිශ්පාදනයක් නම් සාමූහික ගොවිපොල ක්‍රමය එවිට ක්‍රියාත්මක කල හැකිය. එවිට සමිතියෙන් ඉඩම් මිලදී ගෙන එබදු ගොවිපොළ පිහිටුවිය හැකිය.මෙලෙස ඔහුගේ දර්ශනය ද පුළුල් පරාසයක පතළ සමුපකාර දර්ශනයක් වූ බව පැහැදිලිය.

වෛද්‍ය කිං ගේ සමය වන විට රොච්ඩේල් සමිතිය බිහිවී නොතිබුන ද සහයොගීතා සමිති (Cooperative societies) විශාල සංඛ්‍යාවක් ව්‍යාපාරික කටයුතු පවත්වාගෙන ගියේය. මේ සමිතිවල එක්රැස් වූ අරමුදල් (විශේෂයෙන් අතිරික්තය) ආයෝජනය කරන ලද්දේ පොලිය පමණක් ලබාගත හැකි යෙදවුම් වලය. වෛද්‍ය කිං මෙය ඉඳුරාම බැහැර කළේය. ඔහු කියා සිටියේ ඒවා ආයෝජනය කල යුතු වන්නේ නිශ්පාදනයේ බවයි. සමිති මෙම අතිරික්ත මුදල් සිය සාමාජිකයන්ට රැකියා සපයා දෙන කර්මාන්ත වල හෝ ගොවිපොළ වල ආයෝජනය වඩා යහපත්ය. මෙමගින් බුද්ධි සංවර්ධනයක් හා එමගින් ඇති කෙරෙන චරිත ශෝධනයෙන් මිනිසුන් යහපත් පුරවැසියන් බවට පත් කෙරෙනු ඇත. රාජ්‍ය පාලනයට පවා එමගින් යහපත් බලපෑමක් ඇති කෙරෙනු ඇත.

 

ශුභාරංචිය (Gospel of the God) මෙන්ම ශුද්ධ දෙයකි සහයෝගීතාව පිළිබඳ සිද්ධාන්තය . මේ දෙක වෙනස් කාල පරිච්ඡේද වලදී වෙනස් බලාධිකාර (authority) හේතුකොට ගෙන පෘතෘවියට පහල වූ ඒවාය. එහෙත් මිනිසා විසින් පවත්වාගෙන යනු ලබන ධර්මතා ඒවාට අනුකූල නොවේ. මෙහිදී සිදුවන්නේ කුමක්ද ? ශුද්ධ වූ දෑ මනුෂ්‍ය ධර්මතා වලට පටහැනි වීමද, නො එසේම මනුෂ්‍ය ධර්මතා ශුද්ධ වූ දෑට පටහැනි වීම ද? කෙසේ වෙතත්, ඉහත කී ශුද්ධ දර්ශන ඒවා අනුගමනය කරන්නවුන්ට සුවිශේෂී ත්‍යාග පිරි නමයි. ඒ දෙකම අමතන්නේ මනුෂ්‍යයාගේ උසස් හැගීම් වලට සහ බුද්ධියටය. එම නිසාම ඒවාට නොයෙකුත් අමාරුකම් වලට මුහුණ පාන්නට සිදුවෙයි. වෛද්‍ය විලියම් කිං, රොබර්ට් ඕවන් මහතාගෙන් මෙහිදී වෙනස් වෙයි. ඕවන් මහතා අදේවවාදියෙක් විය. එහෙත් වෛද්‍ය විලියම් කිං ආගමික නැඹුරුවකින් යුතු වූවෙකු විය. වෛද්‍ය කිං පෙන්වා දෙන පරිදි ආගම නොඅදහන්නෝ බොහෝ වෙති. ආගමික දර්ශනය නොපිළිගන්නවුන්ගේ සංඛ්‍යාව ඊටත් වැඩිය සහයෝගිතාව පිළිබඳ දර්ශනය ද එසේමය. එය පිළිගන්නා අයට වඩා නොපිළිගන්නා අය වැඩිය.

 

සමුපකාරය පිළිබඳව මුල්ම නිර්වචනය වෛද්‍ය විලියම් කිං ගේ සමුපකාරිකයා පත්‍රයේ පළවූ මතු දැක්වෙන අදහස විය හැකිය. එනම්:

සහයෝගීතා ව්‍යාපාරයක් යනු (Cooperative movement) පොහොසතුන්ට එරෙහිව දුප්පතුන්ගේ නැගී සිටීමක් හෝ හාම්පුතුන්ට එරෙහිව කමුකරුවන්ගේ නැගී සිටීමක් හෝ නොවේ. සෑම පුද්ගලයෙකුම ස්වකීය තත්වය වඩා යහපත් බවට හරවා ගනු පිණිස මෙහෙයවනු ලබන මූලධර්මයනුගේ විචක්ෂණශීලී භාවිතාවයි. මෙය, මතු යම් දවසක සමාජය ම්ලේච්ජ භාවයෙන් ශිෂ්ඨාචාරයටත් දිළිදු බවින් සාමූහික නිදහස්වීමටත් යොමු කරනු ඇත.

සමුපකාරය යනු ස්වේච්ඡා කියාවලියකි. එය ස්වීය වූ බලය මත පමණක්ම යැපෙයි. එහෙත් එය ලෝකවාසී සියලු මනුෂ්‍යයන් අනිවාර්යයෙන්ම අනුගමනය කරනු ඇතැයි සිතිය යුතු නොවේ.

වෛද්‍ය විලියම් කිං ගේ”සමුපකාරිකයා” ජනයා අතරට ගියේ කොතැනකද, එතැන සහයෝගීතා වෙළද සැල් (Cooperative stores) ඇතිවිය මේවා ලාභ ලබන වානිජමය සංවිධානයෝ වූහ. 1828 දී දී තිබුණු එවැනි සංවිධාන ගණන 9 ක් වූ අතර 1829 දී එය 130 දක්වා වර්ධනය විය.

 

එහෙත් විලියම් කිං දොස්තර මහතා මේ ව්‍යාපාරයේ බොහෝ කලක් රැදී සිටියේ නැත. පෞද්ගලික හේතූන් නිසා 1830 දී ඔහු සිය වාර ප්‍රකාශනය පළ කිරීම අත් හළේය. එසමයේම ඔහු බ්‍රයිටන් අතහැර ගිය බව පැවසේ. බ්‍රයිටන් සමිතියේ භාන්ඩාගාරික කටයුතු කල විලියම් බ්‍රවුන් අමෙරිකාව බලා නැව් නැංගේය. මේ අනුව බ්‍රයිටන් ව්‍යාපාරය 1832 දී එනම් රොච්ඩේල් සමිතිය පිහිටුවන්නට වසර 12කට පෙර අතුරුදහන්ව ගිය බව සැලකිය යුතුය.

රොච්ඩේල් සමිතියට පෙර සමුපකාර ව්‍යාපාරය නොපැවති බව මීට පෙර සඳහන් කරනු ලැබ ඇත. එකල පැවති සමුපකාර බීජය සහිත අත්හදා බැලීම් සහයෝගීතා ව්‍යාපාර ලෙසද එසේම සඳහන් කෙරිණ.

සමුපකාරය මාතෘකා කොටගත් නොයෙකුත් පොතපත පරිශීලනය කරන විට පැහැදිලි වන කරුණක් නම්, රොච්ඩේල් සමිතිය ඇරඹෙන්නට පෙර සමුපකාර ප්‍රෝත්සාහ නොහොත් අත්හදා බැලීම් තිබී ඇති බවයි. ඒවා යුග දෙකකට වෙන් කරගත හැකි වෙයි. මතු දැක්වෙන පරිද්දෙනි.

ඒවා නම්:

: - පූර්ව ඕවන් යුගය – 1760 පමණ සිට 1820 දක්වා කාල සීමාව.

: - ඕවන් යුගය – 1820 සිට 1844 දක්වා කාල සීමාව.

මීට පෙරද සඳහන් කොට ඇති පරිදි ඕවන් මහතාගේ ආගමනය සහයෝගීතා ව්‍යාපාර කෙරේ දැඩි බලපෑමක් ඇතිකල අතර ඒවායේ ආකාතිමය වෙනසක් ද ඇති කරන්නට හේතුකාරක විය. මේ කාල සීමා දෙක පැහැදිලි ඉරකින් වෙන්කොට දක්වන්නට හැකි වන්නේ එහෙයිනි.

 


වෛද්‍ය විලියම් කිං
මූලාශ්‍රය:- http://www.thisbrighton.co.uk/city-politics/dr-william-king.htm

 

පූර්ව ඕවන් යුගය

1760 මාර්තු අග සතියේ එංගලන්තයේ චැතැම් හි පළවූ ප්‍රාදේශික පුවත් පතක් වූ “වයිට් හෝල් ඊව්නිං පෝස්ට්' පුවත්පතේ මෙවැනි පුවතක් පළවී තිබිණි. ' පසුගියදා වුල්විව් නැව් තනන්නන්ගේ සහයෝගීතා තිරිගුපිටි මෝල ගින්නෙන් දැවී විනාශ වී ගියේය. ඒ අනුව ඒ ඉරණම තමන්ටද අත් නොවීම පිණිස මෙහි (චැතම්හි) නැව් තනන්නෝ සිය මෝලේ ආරක්ෂක සංවිධාන තර කළෝය.”

වූල්විව් හි එවැනි මෝලක් පැවති බව ලොවට අනාවරණය වූයේ එය ගින්නෙන් දැවී යාමෙන් පසුව පළවූ ඒ පුවත අනුවය.

වූල්විව් හා චැතම් හි ඩොක්යාඩ් කම්කරුවෝ නොහොත් නැව් තනන්නෝ බ්‍රිතාන්‍ය රජයේ සේවකයෝ වූහ. දහඅටවන සියවසේ මැද භාගයේ පැවති ආර්ථික තත්වය හේතුකොට ගෙන තිරිගු පිටි ඇඹරුම්කරුවන් කිහිපදෙනෙකු අත පාන් පිටි ඒකාධිකාරය පැවතුනෙන්, පාන් මිල ඉහල තියේය. ඊට පිළියමක් ලෙස එම කම්කරුවෝ තමන්ගේ සොච්චම් වැටුපෙන් ප්‍රාග්ධනය යොදා සහයෝගීතා ක්‍රමයට පාලනය ගෙන යන තිරිගු පිටිමෝලක් ඇරඹූහ. ගිනිබත්ව විනාශ වූයේයයි පෙර සඳහන් වූයේ ඉන් වූල්විව් හි වූ ඒ මෝලයි.

 

මේ කම්හල් පිහිටුවීමෙන් පසුව ඒ කම්කරුවන් හා ප්‍රාදේශීය තිරිගු පිටි කම්හල් හිමියන් අතර ගැටුම් ඇතිවිය. වූල්විච් මෝල ගිනි තබන්නට ඇත්තේ ප්‍රාදේශික තිරිගු පිටි ඒකාධිකාරය පවත්වාගෙන ගිය මෝල හිමියන් විසින් යයි සැක කරනු ලැබිණි. ඔවුන් ඒ චෝදනාවෙන් ගැලවුනේ තමන් එසේ නොකල බවට ප්‍රාදේශීය ආන්ඩුකාරයා ඉදිරියේ දිව්රුම්දී ප්‍රකාශයක් කිරීමෙනි.

වුල්විච් සහයෝගීතා හවුලට තිරිගු පිටි මෝලක් තිබුණු අතර, වැතැම් නැව් තනන්නන්ගේ සහයෝගීතා සමිතියට තිරිගු පිටි මෝලක් හා බේකරියක් යන දෙකම තිබිණි.

 

චැතැම් හා වුල්විච් නැව් තනන කම්කරුවෝ මේ අනුව ලොව ප්‍රථම සහයෝගීතා (සමුපකාර) ආකාරයේ ව්‍යාපාරයක් ඇරඹූ පුද්ගලයන් ලෙස ඉතිහාස ගතවෙති. ඉන්පසු එවැනි ව්‍යාපාරික කටයුතු එංගලන්තයේ නොයෙකුත් ස්ථාන කේන්ද්‍ර කැර ගනිමින් බිහිවූ බව ඉතිහාසය පෙන්වා දෙයි.

මේ වකවානුවේ එනම් 1772 සිට 1812 දක්වා පැවති ප්‍රංශ යුද්ධ කරණ කොට පාන් මිල ඉහල ගියේය. ඒ අනුව පෙර කී පරිද්දෙන් සහයෝගීතා පදනමින් යුත් මෝලක් හූල් (Hull) හි ශ්‍රමික ජනයාද පිහිටුවා ගත්තේය. ඒ මෝලේ නම ලෙස ඔවුන් භාවිතා කළේ ප්‍රතිවිරෝධතාවේ මෝල (Anti Mill) යන්නයි. එය කෙබදු එකක්දැයි එම නමින්ම පැහැදිලි වනු නිසැකය. ව්‍යාපෘතියක් ලෙස එය 1795 දී සිය කටයුතු අරඹන ලද නමුත්, තිරිගු පිටි නිශ්පාදනය පටන් ගත්තේ ඉන් දෙවසරකට පසුවය. 1796 දී අරඹන ලද බාහැම්ස් ඩවුන්ස් මෝල වංශවතුන් නොවන එහෙත් යමක් කමක් ඇති මිනිසුන් විසින් සිය ධන පරිත්‍යාගයෙන් ඇතිකල ප්‍රාග්ධනය මගින් පිහිටුවන ලද්දක් වන අතර සෘජුවම සහයෝගීතා ව්‍යාපාරයක් (Cooperative Venture) නොවීය. හුල් දායකත්වයේ මෝල නම්වූ දෙවනි මෝලක් 1801 දී ඇරඹි අතර එතැනින් මේ ව්‍යාපාරය බෙවර්ලි දක්වාත්, වඩා දුර බැහැර පෙදෙසක පිහිටි විට්බි දක්වාත් පැතිරිණි. 1812 දී එහි සාංගමික මෝල (union mill) ඇරඹිණි. කෙන්ට් හි ෂියනර්ස් ලාභදායික සමිතිය (Sheerness Economical Society) 1816 දී බේකරියක් ඇරඹි අතර පසුව එය වෙළද සැලක් දක්වා සංවර්ධනය විය. ඊලග අවුරුද්දේ ඩවුන් පෝර්ට් සිය සාංගමික මෝල පිහිටුවීය. මීට වඩා සිද්ධීන් තිබිය හැකි නමුත් වාර්තා වී ඇත්තේ එවැනි සුලු සංඛ්‍යාවක් පමණි. එසේම මේ ප්‍රමාණය ගැන පවා වාර්තා තබාගෙන ඇත්තේ බ්‍රිතාන්‍ය පමණි. අනෙක් රටවලද එවැනි ව්‍යාපාරික කටයුතු නොතිබුනා යයි නොසිතිය යුතුය. තිබෙන්නට ඇත; එනමුත් වාර්තා නොමැත. ඉතිහාසඥයෝ මෙවනි සුළු සිද්ධීන් වාර්තා කර තබන්නට නොවෙහෙසෙති.

 

සමුපකාර වෙළද සැලක් පිළිබඳව අතීත වාර්තා එපමණක්වත් නොමැත. ප්‍රංශ‍යේ පැරිස් විශ්ව විද්‍යාලයේ නීති පීඨයේ මහාචාර්යවරයෙකුව සිටි චාල්ස් ගයිඩ් මහතාගේ “පාරිභෝගිකයන්ගේ සමුපකාර සමිති” (Consumers' Cooperative Societies) නම් ග්‍රන්ථයේ දැක්වෙන පරිදි ලෝකයේ ප්‍රථම පාරිහෝගික සහයෝගීතා (සමුපකාර) වෙළද සැළ වනුයේ ඩර්හැම් හි බිෂොප්තුමා විසින් ඔක්ස්ෆොඩ්ෂයර් හි මොන්ග්වෙල් නමැති ගමේ 1794 දී අරඹන ලද සමිතියයි. මේ මතයම ජේම්ස් සැමුවල්සන් නැමති ලේඛකයා විසින් සංස්කරණය කරන ලද The Civilization of Our Day නැමති ලිපි එකතුවේද දක්නට ලැබේ. එහෙත් ස්කොට්ලන්තයේ අයර්ෂයර්හි ෆෙන්වික් ගමේ 1769 දී එවැනි සමිතියක් තිබිණැයි සර් විලියම් මැක්සවෙල්ගේ “ස්කොට්ලන්ත සමුපකාර ඉතිහාසය” නම් ග්‍රන්තයේ සඳහන් වන්නේ යයි මහාචාර්ය ගයිඩ් ඉහතින් සඳහන් සිය කෘතියේ කියයි.

ෆෙන්වික් රෙදි වියන්නන්ගේ වෙළද සැළ තමා දන්නා ඒ ආකාරයේ පළමුවැන්න බව මහාචාර්ය ජී.ඩී.එච් කෝල් සිය 'සමුපකාරයේ සියක් වසක්' නම් ග්‍රන්ථයේ සඳහන් කරයි. කිහිප දෙනෙක් එක්ව සාමූහිකයක් ගොඩනගා ගෙන වෙළද පෙළෙන් බඩු මිලදී ගෙන බෙදාහදා ගත් බව ඔහු කියයි. 1769 දී ය. එහෙත් එහි සමිතියක් හෝ ස්ටෝරුවක් හෝ තිබී නොමැත. මහාචාර්ය කෝල් සඳහන්කරන ආකාරයට ඉංග්‍රීසි ජාතිකයන් මුල්ම සමුපකාර අරඹා ඇත්තේ 1777 දී “ගොවන් වික්චුවලිං සොසයිටි” (Govan Victualling Society) නැමති සමිතියයි. Victual යන ඉංග්‍රීසි ක්‍රියා පදයේ අරුත වන්නේ ආහාර සැපයීමයි. පෙර සඳහන් මොන්ග්වෙල් වෙළද සැල ඉතිහාසයේ අනුපිළිවලින් එන්නේ ඊලගටය. Cooperative යන පදය සිය නමට ඇතුලත් කරගත් මුල්ම සමිතිය ලෙස මහාචාර්ය කෝල් සඳහන් කරන්නේ ඔල්ඩ්හැම් කෝපරේටිව් සප්ලයි කොම්පැනි නම් ආයතනයයි. 1795 දීය. ස්කොට්ලන්තයේ බ්‍රයිටන් සමිතිය 1812 දී අරඹන ලද අතර ලෙනොක්ස්ටවුන් සමිතිය 1812 දී ඇරඹිණි. 1821 දී ලාක්ෂෝල් වික්ඩුවලිං සොසයිටි නම් සමිතිය අරඹන ලදී. රොච්ඩේල් (පුරෝගාමීන්ට බොහෝ කලකට පෙර) මිලදී ගැනීම් මත ප්‍රතිදාන මුලින්ම ගෙවන ලද්දේ මෙම සමිතිය විසිනි.

මේ කාලයේදී නිශ්පාදකයින් හා සේවා සපයන්නන් ගේ සමිති කිහිපයක් ක්‍රියාත්මක විනැයි සිතිය හැකිය. 1777 දී බර්මින්හැම් හි සන්නාලියන් විසින් එවැනි සමිතියක් පිහිටුවාගෙන තිබුණැයි කියනු ලැබේ.

 

1776 වසරේදී වෙළද සැළ් හිමියන් සහ මස් වෙළදුන්ගේ අසාධාරණකම් වලට එරෙහිව සන්ධාන ගතවිය යුතු බවට මහජනයාට ආයාචනා කෙරෙන අත් පත්‍රිකාවක් එංගලන්තය පුරා බෙදාහැර තිබුණු බවට එෆ්. හෝල් සහ ඩබ්. පී වොට්කින්ස් යන මහත්වරුන් විසින් රචිත 'සමුපකාරය” නැමති ග්‍රන්තයේ දැක්වේ.

මෙම ආරම්භක පියවර ලප් තැනම ලොප් වූවා මිස ඒවා දිගින් දිගට ඉදිරියට ගෙන යනු ලැබුවේ නැත. ආරම්භක කණ්ඩායම විසිර ගිය පසු සමිතිය හෝ ව්‍යාපාරයද අවසන් විය. මේවා හුදකලා අත්හදා බැලීම් පමණක්ම විය. ඒවා ඇරඹූ පුද්ගලයන් ගැන විස්තර නොමැත. අනෙක් අතට මේවා හුදෙක් සාගින්නට හා අධික බඩු මිලට එරෙහි සංවිධාන ගතවීම් විනා, ඉදිරියට යන මහජන ව්‍යාපාර නොවීය.

 

ඕවන් යුගය : 1820-1844

රොබර්ට් ඕවන් මහතා ගැන මීට පෙර පරිච්ඡේදයක සඳහන් කර ඇති හෙයින් ඹහු ගැන නැවත හැදින්වීමක් කල යුතු නොවේ. එසේම ඔහුගේ ක්‍රියාකාරකම් ගැනද එහිදී කෙටියෙන් සාකච්ඡා කොට ඇත.

 

ඕවන් මහතාගේ අභිප්‍රාය වූයේ අතීත දුශ්චරිතවත් ලෝකයක් වෙනුවට නව සදාචාර ලොවක් ඇති කිරීමයි. මේ සඳහා ඔහු එකල රජය පත්කල ශ්‍රමික දුප්පතුනට සහන සැලසීමේ කමිටුවට 1817 දී සහ ලිව්ලානාක් සමාමිවරයාට 1821 දී යෝජනා ඉදිරිපත් කළේය. මේවා හැදින්වෙන්නේ වාර්තා (Reports) යන නමිනි. ශ්‍රමය සූරා කෑම නිසා ශ්‍රමිකයන් අසරණ තත්වයට පත්වන ආකාරය මාක්ස් දාස් කැපිටාල් ලියන්නට පෙර ඕවන් මේ වාර්තා වලට ඇතුලත් කළේය. සමස්ථ නිශ්පාදනයේම අයිතිය ශ්‍රමයට තිබිය යුතු නමුත්, භූමියේත්, ප්‍රාග්ධනයේත්, අමුද්‍රව්‍යයේත් අයිතිය ඇති ප්‍රාග්ධන ආයෝජකයා (capitalist) ශ්‍රමයට සොච්චමක් ගෙවා අතිරික්තය තමා සතුකර ගනී. මේ නිසා ශ්‍රමිකයෝ දිළින්දෝ බවට පත්වෙති. මෙය‍ට ප්‍රතිකර්ම ලෙස කල යුත්තේ ප්‍රාග්ධනයේ අයිතිය පොදු එකක් බවට පත් කරලීම වෙයි.

ඕවන් සිය සංකල්පය සකසා ගන්නට 1696 දී ජෝන් බෙයර්ස් විසින් සහ 1775 දී තෝමස් ස්පෙන්සර් විසින් ශ්‍රමිකයන්ගේ තත්වය නගා සිටුවීම ස ඳහා ඉදිරිපත් කරන ලද යෝජනාවල ආභාෂය ලබන්නට ඇතැයි සිතිය හැකි අතර මාක්ස් හා ඒංගල්ස් විසින් ඉදිරිපත් කරන ලද කොමියුනිස්ට් ප්‍රකාශනයට ඕවන්ගේ ලියවිලි වල ආභාෂය ලැබෙන්නට ඇතැයි සැලකිය හැකිය.

 

'රටතුළ ජනපද' නොහොත් දේශීය කොලණි (Home colonies) පිහිටුවීමේ සිය සංකල්පය ක්‍රියාත්මක කිරීම බ්‍රිතාන්‍ය තුල කල නොහැක්කක් බව පෙනීගිය හෙයින් ඕවන් මහතා 1822 දී අමෙරිකාව බලා පිටත්ව ගියේය. ඔහුට එරට කොන්ග්‍රස් මණ්ඩලය ඇමතීමට අවස්ථාවක් ලැබුණු අතර, එවකට එහි ජනාධිපතිවරයාව සිටි ජේම්ස් මොන්රෝ මහතා හමුවී සිය සංකල්පය ඉදිරිපත් කරන්න‍ටද හැකිවිය.

අමරිකාවේදී ඔහු සංක්‍රමණික ජර්මානු කල්ලියකට අයත්ව තිබූ 'නව සුසංයෝගය' (New Harmony) නම් ජනපදය සහයෝගීතාවයේ (Village of Cooperation) පිහිටුවීම සඳහා මිලදී ගත්තේය ඒ 1815 දී ය.

පොදු අයිතියක්ද, ප්‍රතිඵලය බෙදා ගැනීමේ පදනමද ඇතිව පිහිටුවන ලද මෙය සාර්ථක නොවීය. නොයෙකුත් හේතූන් මත එහි බෙදිම් ඇති විය. පසුව ඉඩම් කැබලි වශයෙන් එක් එක් පුද්ගලයන්ට ලබාදුන් අතර ඒ ඒ කොටස අස්වැද්දවීම ඒ ඒ පුද්ගලයන්ට පැවරුණ කෘෂිකාර්මික ජනපදයක් බවට පත්කරන ලදී. මෙය අසාර්ථක වූ අතර පසුව ගොඩනැගිලි පමණක් ශේෂ විය.

 

ඕවන් මහතා අමරිකාවේදී 'නව සුසංයෝගය' මිලදී ගන්න‍ට පෙර පවා, ඔහුගේ ශ්‍රාවකයෝ, එනම් ඕවනයිට්වරු මහා බ්‍රිතාන්‍යයේ ක්‍රියාත්මක භාවයට පත්ව සිටියෝය. 1820 දී 'සන්' පත්‍රයේ කතුවර ජෝර්ජ් මූඩි මහතා, පසුකළෙක පුවත්පත් නිදහස වෙනුවෙන් අභීත සටනක් ගෙන ගියාවූ හෙන්රි හෙදරිංටන් මහතා සමඟ එක්ව 'ප්‍රජාවක්' සඳහා පිඹුරුපතක් සැකසීය. මේ පිඹුර ඕවන් මහතාගේ සංකල්පයන්ගෙන් උකහා ගත්තතාවූ නමුත් ඕවන් මහතා මෙන් ඔවුන් ආගම බැහැර කළේ නැත. මූඩි මහතා ඇතුලු සහෝදර මුද්‍රණකරුවන්ට ප්‍රජාවක් ලෙස එක්ව ජීවත් විය හැකි සහ සිය වෘත්තිය සාමූහිකව පවත්වාගෙන යා හැකි විශාල චතුරශ්‍රාකාර භූමි භාගයක පවත්වාගෙන යන 'ප්‍රජාවක්' නිර්මාණය කිරීම ඔවුන්ගේ සංවිධානයේ අරමුණ විය. මේ සංවිධානය 'ලන්ඩන් කෝපරේටිව් ඇන්ඩ් එකොනොමිකල් සොසයිටි' නම් විය. එය සමාජ සුභාරංචිය ගෙනා ප්‍රථම සමිතිය යයි කියනු ලැබේ. පසුව ප්‍රජාවක් ලෙස සාමූහිකව ජීවත්වීමේ ක්‍රියා මාර්ගය අතහැර දමන ලදී. දෙවනි ලංඩන් සමුපකාර සමිතියක්ද 1824 දී බිහිවිය. මෙය පසුකලක ඕවනයිට් වරුන්ගේ මූලස්ථානය බවට පත්විය.

මේ අතර එකල විසූ තවත් දාර්ශනිකයෝ ඕවන් මහතාගේ දර්ශනය පුලුල් කලහ. එවැනි තැනැත්තෙකි ඒබ්‍රහම් කොම්බි මහතා. ඔහුගේ නායකත්වයෙන් 1923 දී 'සහයෝගීතාවයේ ගම්මාන' (Villages of Cooperation) යක් පිළිබඳ අදහස ඉදිරිපත් විය. ලැන්ක්ෂැයර් ප්‍රාන්තයේ බ්ලබිස්ටන්හි හැමිල්ටන් නම් මහතෙකුට අයත් භූමි භාගයක් ඒ සඳහා තෝරා ගැණිනි. මෙවූහු වනාහි ඕවන් මහතාගේ ලානාක් වාර්තාව කියවා ප්‍රමෝදයට පත්වූ අය වූහ. 1822 දී ඕවන් මහතාගේ ප්‍රධානත්වයෙන් 'බ්‍රිතාන්‍ය සහ විදේශීය දාර්ශනික සමිතිය' පිහිටුවා ගත්තේ මේ කණ්ඩායමයි. 1826 දී මොවූහු ඕබිස්ටන් ප්‍රජාව ඇරඹූහ.

 

ඕබිස්ටන් ප්‍රජාව තුළ සිය ගණනක් මිනිසුන් ජීවත් වූහ. නමුත් සැම දෙනාම ඊට ප්‍රාග්ධනයෙන් දායක නොවූ බව සැලකිය යුතුය. ඇති හැකි ඇත්තෝ වැඩි ප්‍රාග්ධනයන් යෙදවූහ. උදාහරණයක් ලෙස ටූඩි මහතා විසින් යොදවන ලද මුදල පවුම් දහසකි. පසුව මෙයට එක්වූ ස්කොට් වෘත්තීය සමිති සහ සහයෝගීතා ව්‍යාපාරයේ නියමුවකු වූ ඇලෙක්සැන්ඩර් කැම්බල් මහතා එහි යකඩ නිස්සාරණය ඇරඹීය. එහෙත් 1827 දී සිදුවූ කොම්බි මහතාගේ අභාවයත් සමඟ ඕබිස්ටන්හි කඩා වැටීම ඇරඹිණි. ව්‍යාපාරයට ප්‍රාග්ධනය යෙදවූවෝ ප්‍රසිද්ධ වෙන්දේසියේ එය විකුනා දමා ණය ගෙවූහ. එය ඔවුන්ට පාඩුවක් ගෙන දුන්නේය.

 

ව්‍යාපාරය කෙතරම් අසාර්ථක වුවත් ඔවුන් සහයෝගීතා මූලධර්මය කෙරේ සිය විශ්වාසය අත්හලේ නැත.

මේ කාලයේ සහයෝගීතා ව්‍යාපාර සැලකුනේ පාලක පක්ෂයට එරෙහිව යන කැරලිකාර කටයුත්තක් ලෙසය. මන්දයත් ඒවා සැමවිටම ඕවන් මහතාගේ විප්ලවකාරී අදහස් සමඟ සංයෝජනය වී පැවති හෙයිනි. මහජන කැළඹිලි සහ උද්ගෝෂණ එවකට බ්‍රිතාන්‍යයේ අගමැති ධූරය දැරූ පීල් මහතාගේ පාලනයට එරෙහිව සැම තැනම පැවතිනි. මේ සෑම එකකම ඕවන් මහතා ප්‍රමුඛස්ථානයක සිටියේය. සැමට සමාජයේ සමාන තැනක් බලාදිය යුතුය යන මතය සමාජවාදය (socialism) ලෙස හදුන්වන ලද අතර එහි ප්‍රායෝගික අංශය වූයේ සහයෝගීතාව (cooparation) යි. ඕවන් මහතාට දහස් ගනනක් අනුගාමිකයෝ (ඕවනයිට්වරුන්) වූහ. ඕවන් මහතා කම්හල් හිමි ධනවතෙකු වූ නමුත් මේ අනුගාමිකයෝ පහත් ජීවන මට්ටමක් ඇති ශ්‍රමිකයෝ වූහ. ඔවුන් අතරින් බහුතරය කාර්මික පෙදෙස් වලින් ඉස්මතු වූ දිලිදුකම හා නූගත්කම නිසා ප්‍රචන්ඩ පුද්ගලයෝ වූහ. එහෙත් ඔවූහු සොරුන් හෝ අපරාධකාරයේ නුවූහ.

ඕවන් මහතා අනභිමුඛයේ වුව සහයෝගීතා සංකල්පය ක්‍රියාවේ යොදවන්නට ඔහුගේ අනුගාමිකයන් අතරින් යමක් කමක් ඇති දැන උගත් අය ක්‍රියා කල බව ඉහත ඕර්බිස්ටන් උදාහරණයෙන් පැහැදිලිය.

 

ඕවන් මහතාගේ අනුගාමිකයෙකු නොවූ දොස්තර විලියම් කිං ක්‍රියාත්මක වූයේ බ්‍රයිටන් නගරයේය. කර්මාන්ත ශාලා ව්‍යාප්තව නොතිබූ බ්‍රයිටන් සිව්වැනි ජෝර්ජ් රජතුමාගේ වාසස්ථානය වූ සාමකාමී පෙදෙසකි. එවැනි පෙදෙසක 'සහයෝගීතා ව්‍යාපාරය' වැනි 'කලහකාරී ව්‍යාපාරයක්' ඇතිවීම පුදුම සහගත යයි මහාචාර්ය ජී.ඩී.එච් කෝල් සිය 'සමුපකාරයේ සියක් වසක්' නම් ග්‍රන්ථයේ සඳහන් කරයි.

වෛද්‍ය විලියම් කිං විලියම් බ්‍රයන් නම් මහතෙකු සමඟ එක්ව 'බ්‍රයිටන් සහයෝගීතා යහසාධක අරමුදල් හවුල' පිහිටවීය. පසුව එය බ්‍රයිටන් සහයෝගීතා වෙළඳ හවුල' විය. වෛද්‍ය කිං ඊට පෙර අන්‍යොධාර සමිති පිහිටුවා ජනයා තුල එකමුතුවේ වටිනාකම පිළිබඳ හැගීමක් ජනයා තුල ඇති කොට තිබුනේය. සුප්‍රකට ඉංග්‍රීසි කවියෙකු වූ බයිරන් සාමිවරයාගේ ආර්යයාව ඔහුගේ කටයුතු වලදී දායක වූ ප්‍රබල චරිතයකි.

 

බ්‍රයිටන් සමිත්යේ අරමුණ වූයේ ඕබිස්ටන් හි මෙන් වූ සමිතියක් ආකෘතිගත කිරීමයි. නමුත් මෙහිදී විශේෂත්වයක් වූයේ එය ප්‍රාග්ධනය ගොඩනැංවීම සඳහා තොග ගබඩාවක් පවත්වාගෙන යාමයි. මෙය අනුකරණය කරමින් අසල ජනපද වලද දුහිතෘ සමිති බිහිවිය. සාමාජිකයෝ සමිතියේ ඉඩම් අස්වද්දා අස්වැන්න ගබඩාවට භාර දුන්හ. ඒවා විකුණූ පසු ඔවුන්ට කොටහ ලැබුණි. 1829 අරඔන ලද මෙය 1832 වනවට මුළුමනින්ම අභාවයට ගියේය. බ්‍රයන් මහතා අමෙරිකාව බලා පිටත්ව යාමත් වෛද්‍ය කිං පවුලේ ප්‍රශ්න නිසා මෙම සමිතියෙන් ඉවත්වීමත් සිදු විය. ඉන්පසු එයට නායකත්වය දෙන්නට කිසිවෙකුට නොහැකිවිය.

කෙසේ වෙතත් බ්‍රයිටන් ව්‍යාපාරය ක්‍රියාත්මකව පැවති අවධියේදී වෙනත් ආකාරවලින්ද එය අන්‍යොධාර ව්‍යාපාරයට උදවි කළේය. වෛද්‍ය කිංගේ The Co-Operator නම් වාර ප්‍රකාශනය ජනයා අතර සහයෝගීතාවේ මූලධර්ම ප්‍රචලිත කරන්නට විශාල මෙහෙවරක් ඉටු කළේය.

 

මේ කාලය අතරතුර රොබර්ට් ඕවන් ප්‍රජා සැලසුම් කිරීම සහ පාලනය පිළිබඳ සිය සංකල්පය පිළිබඳව දේශන පවත්වමින් සිටි බව පැහැදිලිය. 1823 දී ඔහු අයර්ලන්තයේ සංචාරයක යෙදී එහි නගර කිහිපයකම ඔහුගේ සංකල්පය අලලා දේශන පැවැත්වීය. සමුපකාරයේ මූල බීජ ගැබ්ව තිබූ මේ දේශනවල සහයෝගීතාව, සමාජවාදය, සමානාත්මතාව වැනි ගති ලක්ෂණ ඉස්මතු කෙරෙන කොළණි නොහොත් ප්‍රජා පිහිටුවා ගැනීම ගැන සහ ඒවා ක්‍රියාත්මක කිරීම ගැන විස්තර කරුණු ඇතුලත් විය. මේවා ඔහුට අලුත් අනුගාමිකයන් ලබා දුන්නේය. ඩබ්ලිනයේදී ඔහු පැවැත්වූ දේශනයකට වශීවූ ජෝන් ස්කොට් වැන්ඩලියර් නම් වතු කාරයෙක් තමාගේ රැලනයින් නම් වතුයාය කොළණියක් බවට පත් කිරීම සඳහා පියවර ගත්තේය. 1830 දී ඔහු සහයෝගීතා ප්‍රජාවකට අවශ්‍ය ගොඩනැගිලි ආදිය නිමවීය. 1831 දී ඔහුගේ වත්තේ පාලකයා මරා දැමුනෙන් ඔහු ඒ තනතුර සඳහා එංගලන්තයේ ඊ.ටී ක්‍රෙග් නැමති ඕවන් වාදියෙකු කැදවා ගත්ටත්ය. එවකට වතු පාලනය කෙරුණේ බාරකාරයෙක් විසිනි. වැන්ඩලියර් මේ තනතුර අහෝසි කොට වත්තේ පාලනය 'රැලනයින් ඇග්රිකල්චරල් කෝපරේටිව් සොසයිටි' නම් සමිතියට පැවරුවේය. ඔහු එහි සභාපතිද ක්‍රෙග් ලේකම් ද විය. ආරම්භයේදී සාමාජිකයෝ 40 ක් වූහ. එනමුත් ඒ අය අතරින් ශක්ති සම්පන්න ගොවීන් සිටියේ 18 ක් පමණි. ඔවුන් වගාකොට අස්වැන්න විකුණා වැන්ඩිලියර්ට පවුම් 90 ක් වාර්ෂිකව ගෙවිය යුතු විය. ඒ ඉඩමේ බිම් අදය හා පලදාවෙන් ඔහුට හිමි කොටස වශයෙනි. මේ ප්‍රජාව තුල සියලු ආකාරයේ දුසිරිත් තහනම් විය. ඒ ප්‍රදේශයේ පැවති ගණන් වලට අනුව වෙළද පොලේදී භාන්ඩ වලට හුවමාරු කරගත හැකි ශ්‍රම නෝට්ටු (labour notes) වලින් ගෙවන ලදී. සාමාජිකයන්ට අවශ්‍ය දෑ මිලදීගනු පිණිස වෙළද සැලක් පිහිටුවා තිබුණු අතර ශ්‍රම නෝට්ටු එහිදී භාන්ඩ වලට හුවමාරු කෙරිණි. ශ්‍රමිකයාට අවශ්‍ය විණි නම් ශ්‍රම නෝට්ටු මුදල් වලටද මාරු කරගතහැකි විය. අසාධු හැසිරීම් ඇති සාමාජිකයන් වැන්ඩලියර් විසින් පළවා හරින ලද්දේ එක්වරක් පමණක් නොවේ. නිව් ලානාක් හි ඕවන්ගේ ක්‍රමය අනුගමනය කෙරෙමින් දරුවන්ට අකුරු කරවීම සඳහා ගුරුවරියක් බඳවා ගන්නා ලදී. අලුතින් සාමාජිකයන් බැදුනු අතර ප්‍රජාව සාර්ථකව ක්‍රියාත්මක වෙමින් පැවතිණි. වතුයායාසංවර්ධනය වූයේය.

එහෙත් පසුව නීතිමය හේතුවක් මත ඉඩමේ අයිතිය වෙනත් අතකට මාරුවිය.. අලුත් ඉඩමේ ගොවියෝ අදගොවි ක්‍රමය ඉවත්කොට නැවතත් පැරණි භාරකාරයෙකු යටතේ පාලනය වන ක්‍රමයට මාරුවූහ. ප්‍රජාවට යන එන මං නැතිවිය. එවකට අයර්ලන්තයේ මෙබදු සහයෝගීතා ව්‍යාපාර සඳහා නීතියක් නොතිබුණ හෙයින්ද ප්‍රජාව කවර හෝ නීතියක ප්‍රතිපාදන වලට අඩංගු නොවූ නිසාද සාමාජික අද ගොවීන්ට කිසිදු පිළිසරණක් නොමැති වූයේය.

 

මෙසමය වන විට ඕවන් මහතාගේ අනුගාමිකයන් එනම් ඕවනයිට්වරුන් ගේ සංඛ්‍යාව හැත්තෑදහසත් - ලක්ෂයත් අතර වූ බව සඳහන්ය. 1837 දී මේ ඕවනයිට්වරු සිය ප්‍රාග්ධනය තරකරගනු සඳහා සතියකට එක් සිලිමක් බැගින් දායක මුදල් අයකරන 'සියලු ජාතීන්ගේ සියලු පංතීන්ගේ හවුල' (Association of All Classes of All Nations) පිහිටුවා ගත්තේය. මෙහි අරමුණ වූයේ කොලනියක් නොහොත් ජනපදයක් නොහොත් ප්‍රජාවක් බිහි කිරීමය. දායක මුදල ලෙස පවුම් 50 ක් සම්පූර්ණ කරන තැනැත්තෙකු ඉඩම් ලැබීමට සුදුසුකම් ලබයි. හවුල, ක්වීන්වුඩිහි අක්කර 301 ක්ද, බක්හෝල්ට් හි අක්කර 232 ක්ද ගොවිපොලක් ඇරඹීමට බද්දට ගත්තෝය. වාර්ෂික බදුමුදල පවුම් 350 ක් වූ අතර, ගොවිපොල දෙකේම ඒ වනවිට තිබූ යන්ත්‍රසූත්‍ර සහ ඉතිරි තොග මිලදී ගැනීමට ආරම්භයේදී පවුම් 1694 ක් ගෙවන ලදී. ක්වීන්වුඩ් ප්‍රජාව මෙහි අරඹන ලදී. එය සහයෝගීතා (cooperative) මූලධර්මය පදනම් කරගත් සමූහ ගොවිපලක් විය. නිවාස සහ පාසලක්ද සඳහා ගොඩනැගිලි ඉදිවිය. මේ ඉඩම එතරම් සාරවත් නොවූ නමුත් මිනිස්සු මහන්සිවී වැඩකොට එය සාරවත් බිමක් බවට පත්කොට මනාව ඇස්වැද්දූහ. විවිධ ශිල්ප ශේණි ද මෙහි කැන්දාගෙන ඒමට ප්‍රජාවේ සංවිධායකයන්ගේ අදහසක් තිබිණි. කෙසේ වෙතත් ප්‍රාග්ධන ඌනය තදින්ම බලපෑවේය.

1841 පමණ වන විට වැටහීගිය කාරණයක් වූයේ මේ පර්යේෂණය දිගටම කරගෙන යාමට නම්, ප්‍රාග්ධනය වර්ධනය වියයුතු බවයි. මේ සඳහා ඕවන් මහතාගේ සභාපතීත්වයෙන් යුත් දේශීය ජනපදකරණ සමිතිය පිහිටුවා ගන්නා ලදී. 1842 දී නව ශ්‍රහස්‍රයේ උදාව (commerament of the millenium) සිහිපත් කරන CM අකුරු දෙක ප්‍රවේශ ද්වාරයට ඉහලින් සඳහන් කෙරුණු සුසංයෝගයේ ශාලාව (Harmony Hall) නම් ප්‍රධාන ගොඩනැගිල්ල නිමවන ලදී. මේ ප්‍රජාවේ පාලකයා (governer) ලෙස කටයුතු කළේ රොබර්ට් ඕවන් මහතාමය. ඔහු තරමක ආඥාදායකත්වයකින් කටයුතු කළේය. එහෙත් 1842 අග භාගයේදී ඔහු තනතුරින් ඉල්ලා අස්විය. ජෝන් හින්ච් නැමති අයෙකු අනුප්‍රාප්තිකයා ලෙස පත්කරනු ලැබුවද ඔහු සාර්ථක පාලකයෙකු වූයේ නැත. 1844 දී හින්ච් ඉවත්ව ගොස් බක්ස්ටන් නැමති අයෙක් එතැනට ආයේය. ක්වීක්වුඩ් නැමති අයෙක් එතැනට ආයේය. ක්වීන්වුඩ් සහයෝගීතා ප්‍රජාව කඩා වැටෙමින් පැවතියේය. 1845 දී එය සම්පූර්ණයෙන්ම බිද වැටිණි. පවුම් 40000 ක පමණ වගකීමක් තිබුණු තැන වත්කම් වශයෙන් ශේෂ වී තිබුණේ පවුම් 15000 ක් පමණක් වටිනා දෑය.

 

මෙයාකාරයට සහයෝගිතා කොළණි සියල්ලක්ම පාහේ අසාර්ථක විය. ඕවන් මහතාගේ සහයෝගීතා සංකල්පය මේවායේ ගැබ්ව තිබුණි. සාමුහිකව දිවි ගෙවීම, සාමූහික නිශ්පාදනය, සාමූහික අළෙවිය, සාමූහික ලාභය සහ සාමූහික අයිතිය යන පස් වැදෑරුම් සංකල්ප පදනම්කර ගනිමින් ක්‍රියාත්මක කරන්නට උත්සාහ කළ එකී සහයෝගීතා ව්‍යාපාර, වර්ථමාන සමුපකාර ව්‍යාපාරයේ මූලබීජ අවස්ථාව (germinal) ලෙස සමාජ විද්‍යාඥයෝ දකිති.


පුද්ගල සංවර්ධනය තුලින් ඵලදායී සේවාවක්

ඵලදායීතා සංකල්පය වැඩ බිම් තුල මෙන්ම එදිනෙදා සාමාන්‍ය ජීවිතය තුලදලටද ප්‍රයෝජනවත් නිමවුමකි. මේ සාකච්ජාව එකී ඵලදායීතා සංකල්පය ගැනයි.

ඵලදායී සේවාවක් මහජනතාවට ලබා දීම සඳහා සෑම ආයතනයක්ම වගකීමට බැඳී ඇත. ඒ සඳහා ආයතනයේ සියළුම නිළධාරීන් දායකවීම අත්‍යාවශ්‍ය වේ. එසේ දායකවීම ඵලදායී ආකාරයට සිදුවීමද අවශ්‍ය වේ. එනම් ආයතනයේ ඵලදායීතාවය ඉහල මට්ටමකට ගෙන ඒම සඳහා “පුද්ගල සංවර්ධන” ක්‍රියාවලිය ආයතනයක මහජන සම්බන්ධතාවය මනාලෙස පවත්වාගැනීම සඳහා ඉවහල් වේ.

පුද්ගල සංවර්ධන උදෙසා පුද්ගලයන් තුල පවතින.

  1. දැනුම.
  2. ආකල්ප.
  3. කුසලතා යන අංශ තුනෙහි වර්ධනයක් ඇති කර ගත යුතුය.

දැනුම නිරන්තරයෙන් වෙනස් වන්නකි. නවීන ලෝකයේ දැනුම ලබා ගැනීමට වර්තමානයේ විවිධාකාර වූ මාධ්‍යයන් තිබේ. දියුණු තාක්ෂණික මාධ්‍ය තුලින් පමණක් නොව අවට පරිසරය තුලින්ද දැනුම උකහා ගත හැකිය. ඒ අනුව දෛනික ජීවිතයේ සෑම කර්ත්‍යක්ම සාර්ථක අයුරින් ඉටුකර ගැනීමට දැනුමෙන් පෝෂණය වීම අත්‍යවශ්‍ය වේ.

පුද්ගල සංවර්ධනට උදෙසා අවශ්‍ය වන දෙවන කරුණ ආකල්පමය වර්ධනයයි. නමුත් අනෙකුත් කරුණු හා සැසඳීමේදී ආකල්පමය වශයෙන් වර්ධනයේ වෙනසක් පුද්ගලයන් තුල ඇති කිරීම අසීරු කරුණකි. ඒ මන්ද යත් ආකල්ප යනු පුද්ගලයන්ගේ අභ්‍යන්තරය තුල ඇතිවන සිතුවිලිදාමයක් වන බැවිනි. ආකල්පමය වශයෙන් වර්ධනයක් ඇතිකර ගැනීම සඳහා පහත සඳහන් කරන H4 පිලිබඳ අවධානය යොමුකල යුතුය.

  1. Head - මොළය මනා ලෙස ක්‍රියාකාරී කිරීම තුලින් දැනුම වර්ධනය ගවේෂණශීලි බව ධනාත්මක චින්තනය සමග නිර්මාණාත්මක බව හා තාර්කිකව කටයුතු කිරීමේ හැකියාව පුද්ගලයා තුල ඇති කරවයි.
  2. Hands - ආකල්පමය වෙනසක් උදෙසා අප ශාරීරික වශයෙන්ද වෙනසක් ඇතිකර ගත යුතුය.
  3. Heart - ආකල්පමය වෙනසක් වර්ධනයක් ඇති කර ගැනීම සඳහා සෘජුවම දායකවන්නේ හදවතයි. එනම් ජීවිතයේ පැවැත්ම හදවත සමග බැදීපවතින්නේ යම්සේද හදවතින් සිතන සිතුවිලි හා පුද්ගල සංවර්ධනය තුලද එවැනිම බැඳියාවක් දක්නට ලැබේ. එබැවින් අපගේ සිතුවිලි හැමවිටම ධනාත්මක සිතුවිලි බවට පත්කර ගත යුතුය.
  4. Health - නිරෝගී මිනිසෙකු තුලින් සංවර්ධනය වූ මිනිසෙකු විද්‍යාමාන වේ. එබැවින් නිරෝගීකම ඇතිකර ගැනීමත් එය පවත්වාගෙන යාමත් අත්‍යවශ්‍ය වේ. ඒ සඳහා මනා සෞබ්‍යය ඇති කර ගත යුතුය.

මෙම H4 වෙනස් කර ගැනීම තුලින් ආකල්පමය වෙනසක් ඇතිකර ගැනීමට තම ජීවිතවල දියුණුව පතන හැම කෙනෙකුටම ක්‍රියාකල යුතුය.

පුද්ගල සංවර්ධනය උදෙසා වර්ධනය කරගත යුතු තෙවන අංශය කුසලතා වර්ධනයයි. එහිදී තමා සතු කුසලතා තමා විසින්ම හඳුනා ගෙන ඉන් උපරිම ප්‍රයෝජන ගැනීම සඳහා කටයුතු කල යුතුය.

මෙලෙසින් පුද්ගලයින් තුල පවතින දැනුම,ආකල්ප,කුසලතා වර්ධනය කර ගැනිම තුලින් පුද්ගල සංවර්ධනය ඇතිවන අතර පුද්ගලයින් වශයෙන් මනා සංවර්ධනයක් පෙන්නුම් කරන විට ,ආයතනික වශයෙන් රාජකාරි කටයුතු ප්‍රබෝධයෙන් ,අවබෝධයෙන්, කාර්යක්ෂමව සහ ඵලදායිව ඉටුකිරිමට හැකියාව ලැබේ.රාජ්‍ය සේවකයන් වන අප සියලුදෙනාගේම යුතුකම හා වගකිම වන්නේද එයයි.

පොදු අභිරුචීන් මත මිනිසා සමූහනයවීම - සංස්කෘතික මානව විද්‍යාත්මක ඇසකින්

සමුපකාරය යනු මිනිසා පොදු අභිමථාර්තයක් වෙනුවෙන් සමූහනය වූ එක් අවස්ථාවකි. මේ එකී සංසිද්ධිය ගැන සංස්කෘතික මානව විද්‍යා ශික්ෂණය ඔස්සේ විමසුමකි.

මිනිසා විවිධාකාරයෙන් සමූහනය වනු සංස්කෘතික මානව විද්‍යාව හදුනා ගනී. ස්ත්‍රී-පුරුෂ භාවය මත, වයස අනුව, සමාජ තත්වය අනුව ආදී ලෙස සමූහනය වනු අපට දැකිය හැක. මෙම සමූහනය වීම දිගු ඉතිහාසයකට හිමිකම් කියන සමූහනය වීම් වේ. පැරණි සමූහනයේ ප්‍රධාන ස්වරූපය වූයේ ඥාතීත්වය සමූහනයේ තීරණාත්මක සාධකයක් වීමයි. නූතන නාගරික කාර්මික සමාජය පෙනී සිටීමත් සමඟම මිනිසා සමූහනය වූ ආකාරයන් තව දුරටත් වෙනස් වූ අතර ළමුන් කෙළි සෙල්ලම් සමූහ ලෙස එක්වන විට තරුණයන් ගැන්ග් (gang) වෙත ආකර්ෂණය වූ අතර වැඩිමහල්ලන් සමාජ ශාලා වෙත පියනගණු දක්නට ලැබිණි. ඒ තුල ඥාතීත්ව සාධකය තව දුරටත් පැවතියේ නැත. සමූහනය වීමේ තවත් ආකාරයක් වූයේ පොදු අභිරුචීන් මත විධිමත් සමූහ හෙවත් සංගම් ‍ගොඩ නැංවීමයි. ගම නගරය බවට පත්වීමේදී හෝ රටක් තවත් රටක් බවට පත්වීමේ දී වෙනස් වූ අවුල් සහගත – කලබලකාරී ජීවිතය ඉගෙනීම , නව භාෂාවන් - නව ආචාර ධර්මයන් ඉගෙනීම, මෙම නව සමූහනයේ යුරෝපීය තලයේ මුල් කාලීන පදනම් ගාමකය විය. පොදු අහිරුචිමය සංවිධාන මානව විද්‍යා සාහිත්‍ය තුල ස්වේච්ඡා සංවිධාන (voluntary associations) ලෙසද හදුනාවා දී තිබේ. නමුත් මෙම හදුන්වාදීම නොමග යවන සුඵය (Haviland and othes 2005:p569). සියඵ පොදු අභිරුචිමය සංවිධාන ස්වේව්ඡා සංවිධාන වන්නේ නැත.

පොදු අභිරුචිමය සංවිධාන වර්ග ලෙස ක්‍රීඩා සංගම්, දේශපාලන පක්ෂ, කාන්තා සමිති, සමුපකාර සමිති, ගුරු දෙගුරු සම්ගම්, වෘත්තීය සමිති, පරිසර සංවිධාන, ස්ට්‍රීට් ගැනග්, මාපියා කල්ලි, වෘත්තීය ආයතන ආදී ලෙස නිම නොවන ලැයිස්තුවක් දිග හැරෙනු ඇත. ඒවායේ අරමුණු හිත මිතුරුකම් වර්ධනයේ සිට වෘත්තීය මට්ටම් දියුණු කිරීම දක්වා පුළුල් පරාසයක පැතිරේ. නූතන ලොව දැකිය හැකි නැමියාවක් නම් ගෝත්‍රික හා සුළු ජන කොටස් තම සම්ප්‍රදායන් ආරක්ෂා කිරීමට පොදු අභිරුචිමය සංවිධාන ගොඩනගා පැවතීමයි. මේ හරහා මහා සමාජයේ සංස්කාතික පීඩනයට මුහුණ දීමට ඔවූහු උත්සාහ ගණිති. එසේම සමහර සමාජයන් තුල කාන්තාවන්ට විධිමත් පොදු අභිරුචිමය සංවිධාන ගොඩ නැංවීමේ හැකියාවක් නැත. මන්ද එම සමාජ පුරුෂ මූලිකත්වය තදින්ම ක්‍රියාත්මක වන බැවිණි. නමුත් එම සමාජ වලද අධ්‍යාපනිකව ඉහල තලයට පැමිණි කාන්තාවන් සංවිධාන ගත වීම දක්නට ලැබේ. මේ හැර නූතන ලෝකයේ පොදු අභිරුචිමය සංවිධාන බොහොමයක ප්‍රධාන වැඩ කොටසක් පිරිමින් හා කරට කර සිටිමින් කාන්තාවන් ඉටු කරනු දැකගත හැක.

අවසාන වශයෙන් සටහන් කිරීමට යන්නේ පොදු අභිරුචිමය සංගම් වල වෙනස්වන රූපාකාරයයි. අන්තර්ජාලයේ වර්ධනය හරහා පොදු අභිරුචිමය සංවිධාන ගොඩ නැගීමේ රූපාකාරයන්ද, පවතින සංවිධානවල වැඩ කටයුතු වල ස්වාභාවයද වෙනස් වෙමින් පවතී. මිනිසුන් වැඩි කාලයක් අන්තර්ජාලයේ මාර්ගගතව (online) සිටීමට පුරුදු වී හා පුරුදු වෙමින් සිටී. මේ තුල වර්ධනය වී ඇති නව පොදු අභිරුචි සංවිධාන රූපාකාරය වන්නේ අතත්‍ය පොදු අභිරුචිමය සංවිධානයි (virtual common interest associations). එම වර්ධනය කෙතරම්ද යත් ලොව සමහර ගෝත්‍රික ජනයා පවා අතත්‍ය පොදු අභිරුචිමය සමූහයන් සමඟ සම්බන්ධ වී සිටිති.

කියවීම්
Haviland, Willam A.
2005. Anthropology – The Human Challenge. Wadsworth. Canada

වැඩ පරිසරයක් තුල මානසික ආතතිය (ක්ලමතය - Job Stress) අවම කිරීම හා ක්ලමතය කලමනාකරණය

සංකීර්ණ සමාජයකදී අපට අත්විදිය හැකි වන මානසික සංසිද්ධීන් සරළ සමාජයකදී අත්විදිය හැකි මානසික තත්වයන් හා සදෘෂ්‍ය නොවේ. පැරණි සමාජයේදී මෙන් නොව නව සමාජ පසුතලයකදී වෙනත් බොහෝ දෑ මෙන්ම ඒවාද කලමනාකරණය කල යුතුය. මේ එවැනි ප්‍රමුඛ සංසිද්ධියක් වන ක්ලමතය පිළිබඳවයි. වර්තමානයේ සංවිධාන විසින් මුහුණ දෙන ප්‍රධාන අභියෝගාත්මක තත්ත්වයක් ලෙසට, කාර්ය මණ්ඩලයේ ක්ලමත තත්ත්වය හැඳින්විය හැකිය. මෙයට ප්‍රධාන වශයෙන් ම හේතුවන්නේ, දැඩි කාර්ය බහුලත්වය හා සංවිධානවල පවත්නා අ‍නේක විධී වූ සංකීර්ණ වැඩ පරිසරයන්ය..

මෙය මානසික ආතතිය මුල්කරගෙන ඇතිවන මානසික විසංතුලන තත්ත්වයක් වන අතර එය අවස්ථානුකූලව ඇති වී නැති වී යයි. මෙය දිගුකාලීන ව පුද්ගලයෙකුට තුල විවිධ වූ මානසික අක්‍රමතාවන්ට ගොදුරුවීමේ ඉඩකඩ පවතිනවා මෙන්ම සෞඛ්‍ය තත්ත්වයද පිරිහීමට ලක්වේ. මේ පිළිබඳව වන ප්‍රායෝගික තත්ත්වයන් අවබෝධ කරදීම හා එය අවම කිරීම සඳහා ගතයුතු ක්‍රියාමාර්ග පිළිබඳ දැනුවත් කිරීම මෙම ලිපිය මගින් ප්‍ර‍ධාන වශයෙන් අරමුණ කෙරේ. මානසික ආතතිය නැතහොත් ක්ලමතය යන්න සරල මානසික අසාත්මිකතාවයක් නැතහොත් විසංතුලනයක් ලෙස සරල ව හැඳින්විය හැකිය. “බාහිර උත්තේජනයකට හෝ කිසියම් තත්ත්වයකට පුද්ගලයා දක්වන අභ්‍යන්තර මානසික ප්‍රතිචාරය මානසික ආතතියයි - ක්ලමතයයි”. මෙම නිර්වචනය තුලින් පැහැදිලි වන්නේ කිසියම් පුද්ගලයෙකු තමා ජීවත්වන පරිසරය නැතහොත් තමාගේ මනෝභාවයන් මගින් ඇතිවන්නා වූ තත්ත්වයන් හෝ ශාරීරික අසමතුලිතතාවයන් පදනම් කරගෙන මනස තුල ඇතිවන ප්‍රතිරෝධාත්මක ස්වභාවය ක්ලමතකාරී තත්ත්වයක් යන්නයි. ක්ලමතකාරී තත්ත්වයක් සැමවිටම පුද්ගල ජීවිතවලට සෘණාත්මක බලපෑමක් ඇති කරන බව සාමාන්‍ය මතයයි. කෙසේ වුවද ක්මතකාරී තත්ත්වයක් වැඩ පරිසරය තුල යම් තත්ත්වයකට ගොඩනැගීම තුලින් අභියෝග කරා පුද්ගලයන්ට ලගා වීමට උනන්දුවක් දක්වන බවට අදහසක් පවතී. මේ පිළිබඳ ඇමරිකා එක්සත් ජනපදයේ කොගල් විශ්ව විද්‍යාලයේ පර්යේෂණ කණ්ඩායමක් විසින් කරන ලද පර්යේෂණයන් තුලින් සනාථ කර ඇත. එහිදී ඔවුන් තමා වැඩ කරනු ලබන පරිසරයන්ට ක්ලමතය තුල සෘණ බලපෑමක් ඇතිවන සාධක හා ධන බලපෑමක් ඇතිවන සාධක පවතින බව හා ඒවා වෙන් වෙන්ව හඳුනාගෙන ඇත.

පරිසරයට ධන බලපෑමක් ඇතිවන ක්ලමතකාරී සාධකයක් ලෙස පුද්ගලයින්ට වගකීම් භාරදීම හා ඒවා ඉටුකිරීම සඳහා නියමිත ඉලක්ක ලබා දීම උසස් තත්ත්වයේ වැඩ පැවරුම් ලබා දීම ආදිය හඳුනාගෙන ඇති අතර සෘණාත්මක සාධයක් ලෙස සංවිධානයන් තුල අභ්‍යන්තර දේශපාලනය දැඩි නීතිරීති හා උපදෙස් පුද්ගලයන්ගේ වෘත්තීය දියුණුවට බාධාවන ලෙස හඳුනාගෙන ඇත.

රැකියා පරිසරයක් තුල පුද්ගල ක්ලමතකාරී වාතාවරණයන් ගොඩනැගීමට ප්‍රධාන සාධක 3 බලපායි. ඒවා නම්,

  1. මනෝ විද්‍යාත්මක ක්ලමතය.

  2. ජීව විද්‍යාත්මක ක්ලමතය.

  3. පරිසර විද්‍යාත්මක ක්ලමතය.

මනස මුල් කරගත් කරුණක් පදනම් කරගෙන නැතහොත් මානසික අසමතුලිතතාවයක් පදනම් කරගෙන ඇතිවන ක්ලමතය මනෝ විද්‍යාත්මක ක්ලමතයයි. කිසියම් පුද්ගලයකුගේ ශාරීරික සාධක පදනම් කරගෙන මානසික අසමතුලිතතාවයක් ඇතිවන්නේ නම් එය ජීව විද්‍යාත්මක ක්ලමතය වන අතර තමා ජීවත් වන පරිසරය තුල ඇතිවන්නා වූ ගතික ස්භාවයන්, වෙනස්වීම් හෝ ගැටලු සහගත තත්වයන් මත ඇතිවන මානසික විසංතුලනය පරිසර විද්‍යාත්මක ක්ලමතය ලෙස හැදින්විය හැකිය.

ඉහත දක්වන ලද සාධක පදනම් කරගෙන ඇතිවන ක්ලමතකාරී තත්වයන් සාමාන්‍යයෙන් ඇති වුවද, වැඩ පරිසරයන් තුළ ක්මතකාරී තත්වයන් ඇතිවීම කෙරෙහි ඉහත සාධක මත පදනම්ව විශාල කරුණු ප්‍රමාණයක් බලපායි. ඒවානම්,

  1. පරිසර සාධක

  2. සංවිධානමය සාධක

  3. පුද්ගලබද්ධ සාධක

වැඩ පරිසරයන් පිළිබඳව අවධානය යොමු කිරීමේදී ව්‍යාපාරයක් බාහිර පරිසරය පදනම් කරගෙන ඇතිවන විවිධ වෙනස්කම් හා ගැටලු ක්ලමතකාරී තත්වයන් කෙරෙහි බලපායී. ඒවානම් ආර්ථික අස්ථාවරත්වය, දේශපාලන අවිනිශ්චිත බව, හා තාක්ෂණික වශයෙන් ඇතිවන ගැටලු ප්‍රධාන වශයෙන් දැක්විය හැකිය.

සංවිධානමය වශයෙන් සලකා බලනවිට, ව්‍යාපාර පරිසරයක් තුල කටයුතු කරගෙන යාමේදී, සංවිධාන යාන්ත්‍රනය තුල සිදුවන අවස්ථානුකූල තත්වයන් පදනම් කරගෙන ක්ලමතකාරී තත්වයන් ඇතිවීමට හේතුවේ. විවිධ වූ කාර්යයන් සඳහා ඇති ඉල්ලුම , රාජකාරී භූමිකාවන්ගේ ඇතිවන විවිධ තත්වයන් (සුහද බව , දැඩි බව, නීතිරීති වල ඇතිවන තත්වයන්) අන්තර් පුද්ගල සම්බන්ධතා පැවැත්වීමේ ක්‍රමය (සංවිධාන සංස්කෘති පිළිබඳ පවතින නීතිමය තත්වයන්), සංවිධාන ව්‍යුහය ගොඩනැගී ඇති ආකාරය, බලය, අධිකාරිය, හා සම්බන්ධීකරණය සංවිධානය තුල සිදුවන ආකාරය, සංවිධානය තුළ නායකත්වය හා සංවිධාන ජීව චක්‍රයේ අවස්ථාවන් (ආරම්භක, වර්ධක, පරිණත, පරිහානි) ආදිය මෙවැනි ආකාරයේ ක්ලමතකාරී තත්වයන් ඇතිවීමට ඉවහල් වේ.

එමෙන්ම, සංවිධානයන් තුළ රාජකාරියේ නියුක්ත වූවන් ගේ, පුද්ගල සාධකයන් නැතහොත්, පුද්ගල න්‍යාය පත්‍රයන් ද ක්ලමතකාරී තත්වයන් ඇති වීමට හේතුවේ. මෙහිදී පවුල් ප්‍රශ්න, පුද්ගලික ආර්ථික ගැටලු, පෞර්ෂත්වය, සංජානනය, රැකියා පුරුද්ද, සමාජීය වශයෙන් පුද්ගලයන්ට ලැබෙන සහය, පුද්ගලයන්ගේ විශ්වාස, ඇදහිලි හා වටිනාකම්, පුද්ගල අපේක්ෂාවන් ආදිය මත පදනම් වූ සාධකයි. ඉහත සඳහන් ක්ලමතකාරී වාතාවරණයන් පදනම්කරගෙන සංවිධානයක් තුල කාර්යක්ෂමතාවයන්ට හා ඵලදායීත්වයන්ට බලපෑම් ඇතිවන ආකාරයේ කරුණු යෙදේ. ඒ තුලින් සංවිධානයට බොහෝ විට සෘනාත්මක බලපෑමක් ඇතිවේ. එනම්, සංවිධානවල කාර්යය මණ්ඩල පහත සඳහන් ආබාධයන්ට ඉහත සඳහන් ක්ලමතකාරී සාධක පදනම් කරගෙන ගොදුරු විය හැකිය.

ඒ තුල ඇතිවන සංවිධානමය ප්‍රතිවිපාකයන් ලෙස

  1. ජීව විද්‍යාත්මක ප්‍රතිවිපාකය – මෙහිදී සංවිධානයේ පුද්ගලයන් හිසරදය, අධි රුධිර පීඩනය හා හෘද වස්තුව පදනම් කරගත් රෝගී තත්වයන්ට ගොදුරු වේ.

  2. මනෝ විද්‍යාත්මක ප්‍රතිවිපාකය – මෙහිදී කාර්යය මණ්ඩල වල මානසික පීඩනය ඉහල යාම, කාංසාව, අපේක්ෂා භංගත්වය, කලකිරීම, රැකියා තෘප්තියේ නිරන්තර පිරිහීම ආදී තත්වයන් ඇතිවේ.

  3. චර්යාත්මක ප්‍රතිවිපාකය – මෙයින් සිදුවන්නේ, නිශ්පාදන ධාරිතාව පහළයාම තුළ කාර්යක්ෂමතාව හා ඵලදායීතාව පහලයාම, සේවක නොපැමිණීම වැඩිවීම, අසහනය, හැරයාමේ ප්‍රතිශතය ඉහල යාම, අපතේ යාම් වැඩිවිම, අධික පිරිවැයක් දැරීමට සිදුවීම ආදී තත්වයන්ට සංවිධානය මුහුණ දීමයි.

සංවිධානයක් තුල ප්‍රධාන වශයෙන්ම ක්ලමතකාරී තත්වයන් ඇතිවීම කෙරෙහි බලපාන හේතූන් පහත පරිදි දැක්විය හැකිය.

පරිපාලන ප්‍රතිපත්ති හා උපාය මාර්ග
මෙහිදී සංවිධානයක ප්‍රතිව්‍යුහගතකරණය, තරඟකාරීත්ව තත්වයන්, වැටුප් ගෙවීමේ සැලසුම් හා වැටුප් ව්‍යුහ සැකසීම, රැකියා මුරවල මාරුවීම්, නිලබලවාදී නීතිරීති, ඉහල තාක්ෂණික තත්වයන් ආදිය බලපායි.

සංවිධාන ව්‍යුහය හා සැකැස්ම
මෙහිදී රේඛීය හා මාණ්ඩලික කලමනාකරුවන්ගේ ගැටුම්, ඒකීය විධානයක් හා සන්නිවේදනයක් නොමැතිවීම, කලමනාකරණ භූමිකා ගැටුම්, විශේෂඥ හා වෘත්තියමය රැකියාවන්හි අර්බුද හා ගැටුම්, වෘත්තීය රැකියාවන්හි දැඩි අධීක්ෂණය හා සුපරීක්ෂාව, උසස්වීමේ අවස්ථාවන් ඇහිරීම, සංවිධාන සංස්කෘතිමය සාධක ආදිය ඇතිවිය හැකිය.

සංවිධානමය ක්‍රියාවලීන්
මෙහිදී දැඩි පාලන විධික්‍රම භාවිතය, ඒකීය සංනිවේදනයක් සිදු නොවීම, කාර්යය සාධන නිසිලෙස පසුවිපරම් නොකිරීම, මධ්‍යගත හා රහස් තීරණ ගැනීම, සහභාගිත්ව හා විනිවිදතාවයකින් කටයුතු නොකිරීම, දඩුවම්කාරී ඇගයීම් ක්‍රම භාවිතය, පුද්ගලමය විශේෂත්වයන් දැක්වීම ආදී කරුණු සඳහන්කල හැකිය.

වැඩකිරීමේ තත්වයන්
මෙහිදී අධික කලබලකාරී පරිසරයන්, ශබ්ධය, තාපය හා දැඩි සිසිල් බව වායු දූෂණය, දැඩි අණ කිරීම්, අනාරක්ෂිත, අවදානම් වැඩ පරිසරයන්, අදුරු වැඩ පරිසරයන්, වායු, රසායන හා කිරණ ආශ්‍රිත වැඩ පරිසරයන් ආදිය සඳහන් කල හැකිය.

ඉහත සඳහන් කරන ලද කරුණු, බොහොමයක් සංවිධානවල කාර්යය මණ්ඩලයේ ක්ලමතකාරී වාතාවරණයන් අති වීමට බහෝවිට ඉවහල් වේ. මෙවැනි ක්ලමතකාරී වාතාවරණයන් ඇතිවීම අවම කරමින්, එය කලමනාකරණය කිරීම තුල ආයතනික කාර්යක්ෂමතාව ඉහල නැවීම තුල ඵලදායීතාව ඉහල නංවා ගත හැකිය.

සංවිධානයක ක්ලමතය කලමනාකරණය කිරීමේදී, එය පහත සඳහන් ප්‍රවේශයන් ඔස්සේ සංවිධානය කලයුතු අතර, ඒවාට ගැලපෙන පරිදි උපාය මාර්ග සැලසුම් කල යුතුය.

වැඩ පරිසරයන් තුල ක්ලමතය අවම කිරීම සඳහා අවශ්‍ය ක්‍රියාමාර්ග ගැනීම සංවිධානයක් තුල වැදගත් කාර්යය භාරයකි. එයට ප්‍රධාන හේතුව වන්නේ කාර්ය මණ්ඩලයේ ප්‍රශස්ත දායකත්වය ලබා ගැනීමට නම්, ඔවුන්ගේ මනස ධනාත්මක උත්තේජනයන් කරා මෙහෙයවීමට උචිත වූ වැඩ පරිසරයක් ගොඩ නැංවිය යුතු වීමයි. මේ සඳහා ප්‍රධාන ප්‍රවේශ දෙකක් භාවිතා කල හැකිය.

  1. පුද්ගල මූලික ප්‍රවේශය මෙම ප්‍රවේශය ප්‍රධාන වශයෙන් යොදා ගත හැකි උපාය මාර්ගයක් ලෙස ළුලදායී කලමනාකරණයක් ඇති කිරීම, ශාරීරික අභ්‍යාස සංවර්ධනය, සාමාජික සංවර්ධන වර්ධනය කිරීමේ වැඩසටහන් සංවිධානය කිරීම හා මනස නිදහස්ව හා නිරවුල්ව තබා ගැනීමේ ක්‍රමවේදයන් පුහුණු කිරීම ආදිය කල හැකිය.

  2. සංවිධාන මූලික පුවේශය මෙම ප්‍රවේශය තුල මූලික වශයෙන් සේවා මණ්ඩල තෝරා ගැනීමේ ක්‍රම වේදයන් විද්‍යානුකූලව ක්‍රියාත්මක කිරීම, විධිමත් පුහුණු වැඩසටහන්, යථාර්තවාදී අරමුණු පිහිටුවීම, රැකියා ප්‍රතිනිර්මාණය, තීරණ ගැනීමේදී කාර්යය මණ්ඩල දායකත්වය ලබා ගැනීම, සංනිවේදන ක්‍රම පැහැදිලිවීම හා සංනිවේදන ක්‍රම දියුණු කිරීම, සේවක ප්‍රතිලාභ වැඩි කිරීම හා සේවක සහයෝගය වර්ධනය කිරීමේ වැඩසටහන් ක්‍රියාත්මක කිරීම ආදියයි.

ක්මතය අවමකර, වඩා සුවපහසු වැඩ පරිසරයක් ආයතනයක් තුල ගොඩනැංවීමට නම්, පහත සඳහන් ආකාරයේ වැඩසටහන් ආයතනයකට ක්‍රියාත්මක කල හැකිය.

  1. සේවක දුක්ගැනවිලි හා කාර්මික සබඳතා පැවැත්වීම හා උපදේශන සේවා පැවැත්වීමට අංශයක් පවත්වාගෙන යාම

  2. කාර්යය මණ්ඩලයට කාල කළමනාකරණයේ ඇති වැදගත්කම පිළිබඳ දැනුමක් ලබා දීම

  3. කණ්ඩායම් වැඩ ක්‍රම ඇති කිරීම හා කණ්ඩායම් (සාමූහික) වගකීම් ක්‍රම ගොඩ නැංවීම

  4. නම්‍යශීලී වැඩ කාල හා වැඩමුර ලබාදීම (Flexi Work Hours)

  5. නිවාඩු ලබා දීමේ සාධාරණ පදනමක් ඇති කිරීම

  6. ආයතනයේ කලමනාකාරිත්වය හා කාර්යය මණ්ඩල අතර, මනා සම්බන්ධීකරණයක් පවත්වා ගැනීම හා එය යහපත් ආකාරයෙන් පවත්වා ගැනීම.

  7. නිසි වේලාවට සේවයට පැමිණීම සඳහා ප්‍රවාහන පහසුකම් ලබාදීම.

  8. ආයතනය තුල කාර්යය මණ්ඩලය දිරි ගැන්වෙන ආකාරයේ ප්‍රතිලාභ හා සේවා වැඩසටහන් ක්‍රියාවට නැංවීම

  9. සංවිධානය තුල රාජකාරි පැවරුම් හා වැඩ බෙදා දීමේ පදනම් සාධාරණ ක්‍රමයන් යටතේ ක්‍රියාවට නැංවීම

  10. දුර බැහැර සිට සේවයට පැමිණෙන්නන් සඳහා නේවාසික පහසුකම් සැපයීම

  11. රැකියා පරිසරය තුල විනෝද වීමට අවස්ථා සලස දීම

  12. ක්‍රීඩා කිරීමේ අවස්ථා ලබාදීම හා ක්‍රීඩා තරඟ සංවිධානය

  13. වාර්ෂික විනෝද චාරිකා සංවිධානය කිරීම

  14. ආයතනයේ සේවකයන්ගේ දැණුම, කුසලතා හා නිර්මාණශීලීත්වය හා දක්ෂතාවයන් ඇගයීමට ලක් කිරීම හා දේශීය විදේශීය ශිෂ්‍යයත්ව හා පුහුණු වීමේ අවස්ථා ලබා දිම.

  15. කාර්යය මණ්ඩලයේ අනාගත අභිවෘධිය සඳහා විශ්‍රාම වැටුප් ක්‍රම හෝ ආරක්ෂණ ක්‍රමවේදයන් ඇති කිරීම (Superannuation Scheme)

ඉහත සඳහන් ආකාරයේ වැඩසටහන් සංවිධානයක් තුල විධිමත් හා ක්‍රමවත් ආකාරයෙන් ක්‍රියාවට නැංවිමෙන් සේවක ප්‍රවාසිතාවය අවම කිරීම, සේවය හැරයාම අවම කිරීම හා කාර්යය මණ්ඩලයේ පවතින ක්මතය අවම කිරීම තුලින් ආයතනික ඵලදායීතාවය ප්‍රශස්ත මට්ටමක් කරා ළගා කරගත හැකිය.

References

  1. Luthans, F, (2005). Organizational  Behavior., 10th ed, New York: McGraw-Hill.
  2. Davar, R. S.(1992).The human side of management. New Delhi: Universal Book Stall.
  3. Mello, J. A., (2005).Strategic Human Resources Management ,USA: South-Western College Publishing.
  4.   Siagal, L. & Lane, I.M.(1982).Personnel & Organizational Psychology. New York: Richard, D. Irwin.
  5. Hersey, P. , Blanchard, K.H. Johnson, D.E, Management of Organizational Behavior 8th ed, New Deihi: Pentice-Hall.
  6.   Robbins, S.P.,(2005). Organizational Behavior 11th ed, New Deihi:Pentice-Hall.
  7.  Ivancevich, J.M. & Mattenson, M.T., (1999),  Organizational  Behavior & Management , New York: McGraw-Hill.
  8. Umstot, D.D., (1984), Understanding Organizational Behavior , New York, West Publishing Company,.
  9. Cole, G.A., ,(1995), Organizational Behavior, London, DP Publications.

 

වැඩිහිටි අධ්‍යාපන ශිල්පක්‍රමයක් ලෙස කණ්ඩායම් වැඩ

වැඩිහිටි අධ්‍යාපනය සමුපකාර සංවර්ධන කටයුතු වලදී බහුලව යොදා ගැණෙන අංගයකි. වැඩිහිටි අධ්‍යාපනයේ ප්‍රබල ශිල්ප ක්‍රමයක් ලෙස කණ්ඩායම් වැඩ හදුනා ගත හැක.

කණ්ඩායම් වැඩ (Group Work) යනු අධ්‍යාපනික ක්‍රියාකාරකමකි. 19 වන ශත වර්ෂයේ දී තරුණයන් සහ වැඩිහිටියන් සමග කටයුතු කිරීම උදෙසා කණ්ඩායම් වැඩ බ්‍රිතාන්‍ය තුලදී සංවර්ධනය විය. අධ්‍යාපනඥයින්, එහි කොටසක් ලෙස වැඩිහිටි අධ්‍යාපනඥයින් මෙම ශිල්පක්‍රමය පිළිබඳව අඛණ්ඩ අධ්‍යයනයන්ගේ නිරත වන අතර ඒ පිලිබඳ නව ප්‍රවේශයන්ද හදුන්වා දෙති. ගුරුවරුන් විසින් මෙම ශිල්පක්‍රමය තම ඉගෙණුම් ක්‍රියාවලියට විවිධත්වයක් එක් කිරීම සඳහා බහුලව භාවිතා කරති. සිසුන් වෙත සාකච්ඡාමය ස්වරූපයකින් ප්‍රවේශ වීමේ කදිම මෙවලමක් ලෙස කණ්ඩායම් වැඩ පෙන්වා දිය හැක. වැඩිහිටි අධ්‍යාපනඥයින් මෙම ශිල්පක්‍රමය වෙත ආසක්තව ඇත්තේ මෙය අවිධිමත් හා නම්‍යශීලී වන හෙයිනි. මෙය වැඩිහිටියා වෙත යම් කිසි නිපුනතාවක් හෝ දැණුමක් අන්තර්ග්‍රහනය සඳහා ඔවුන්ගේ මානසික ආකෘතිය සමඟ මනා එකගත්වයක් සහිත ශිල්ප ක්‍රමයක් බවට කණ්ඩායම් වැඩ පත් වන්නේ මෙම අවිධිමත් බව හා නම්‍යශීලී බව මතිනි. සමාජ වැඩ, ව්‍යවරික මනෝ විද්‍යාව, උපදේශය ආදී විෂයය ක්ෂේත්‍ර රැසක්ම වැඩිහිටි අධ්‍යාපන ශිල්පක්‍රමයක් ලෙස කණ්ඩායම් වැඩ උපයෝගී කර ගනියි.

කණ්ඩායම් වැඩ ශිල්පක්‍රමය පහත ශක්‍යතාවන්ගෙන් සමන්විතය

  • අප ඉගෙණුම ලබන විෂයය ගැන පමණක් නොව සහයෝගීව කටයුත්කරන්නේ කෙසේද යන්නත්, ඒකාබද්ධව ගැටලු විසදීම සිදුකරන්නේ කෙසේද යන්නත් පිලිබඳව අවබෝධකර ගැනීමට අවස්ථාව ලැබීම
  • අප විසින් යමක් පැහැදිලි කරන්නේ කෙසේද යන්නත්, අනෙකාව අවබෝධ කරගන්නේ කෙසේද යන්නත් පිලිබඳ අනුහුරුකමක් ඇතිවීම.
  • කණඩායමේ අනෙකුත් සාමාජිකයන්ගේ අත්දැකීම් හා හැකියාවන් අපගේ අත්දැකීම් හා හැකියාවන් සමඟ සංසන්දනයට අවස්ථාවක් ලැබීම.
  • සියළු දෙනාටම කණ්ඩායම වෙත යමක් ප්‍රදානය කිරීමට හැකියාව ඇති අතර ඒ ඔස්සේ කණ්ඩායමේ සමස්ත දැණුම වර්ධනය වීම.

ඉහත ශක්‍යතා පදනම් වන්නේ පහත කොන්දේසීන් මතයි.

  • සෑම කණ්ඩායම් සාමාජිකයෙක්ම ස‍හේතුකව / සවිඥාණිකව කණ්ඩායම වෙත සම්බන්ධ වී සිටිය යුතුය.
  • සෑම සාමාජිකයෙක්ම අනෙකාගේ දැක්මට ගරුකිරීම හා සවන්දීම සිදුකල යුතුය
  • සෑම ඉගෙණුමක්ම සාමානාත්මතා මූලධර්මය මත පදනම් විය යුතුය.

අධ්‍යයන කණ්ඩායම් හෝ අධ්‍යයන කව, කතිකා සමූහ, අධ්‍යයන සමාජ ආදී ලෙස වැඩිහිටි අධ්‍යාපනය තුල කණ්ඩායම් වැඩ හදුනාගනු ලැබේ. මෙකී කුමන නමකින් හැදින්වුවද කණ්ඩායමක් කුඩා හා තදින් බද්ධ වූ පිරිසකගෙන් සමන්විත විය යුත්තේ අවිධිමත් දිශානතියකින් යමක් සුමටව අධ්‍යයනයට අවශ්‍ය සහයෝගීතාවයට ඉඩ සැලසෙන ලෙසය.

අධ්‍යන කව (හෝ කතිකා සමූහ, අධ්‍යයන සමාජ) තුලදී අප පංති කාමර ඉගෙණුම තුල භාවිතා වන වදන් මාලාවට වෙනස් වදන් මාලාවක් ප්‍රයෝජනයට ගනී.

පංතිකාමරය > අධ්‍යන කවය 
ගුරුවරයා > කව නායකයා
ශිෂ්‍යයා > සාමාජිකයා / සහභාගීවන්නා
පාඩම > රැස්වීම
පංති කාමරය > අධ්‍යයන කාමරය
ඉගෙනුම > අධ්‍යයනයන්
පෙළ පොත් > අධ්‍යයන ද්‍රව්‍ය
කාලච්ඡේද අධ්‍යයන වාර

අධ්‍යයන කව හා පංතිකාමර පිලිබඳ සංසන්දනයක්
අධ්‍යන කව හා පංතිකාමර අධ්‍යාපනය සංසන්දනාත්මකව විමසා බැලීම අධ්‍යන කව හෙවත් කණ්ඩායම් වැඩ වල අදාලත්වය / විශේෂත්වය මැන බැලීමට රුකුලක් වනු ඇත.

අධ්‍යන කවය පංති කාමරය
  • සභාපතිවරයෙක් හෝ නායකයෙක් කණ්ඩායමට සිටින අතර නායකයා සෘජුව දර්ශනය නොවේ / හදුනාගත නොහැක. කණ්ඩායමේ සාමාජිකයින් අතර ප්‍රධාන මූලධර්මය වන්නේ සමානාත්මතාවයි.
  • ගුරුවරයෙක් හා ශිෂ්‍යයන් සිටින අතර සිසුන් එකිනෙකා සමාන වන නමුත් ගුරුවරයා උච්ඡස්ථානයක් අත්පත්කර ගනී. මේ නිසා ගුරුවරයා පහසුවෙන් හදුනාගත හැක.
  • විෂයය මාලාව ඔවුන් විසින් නිර්මාණය කරගනු ලැබේ
  • මාතෘකාව හෝ විෂයය මාලාව නිශ්චිත හා පෙර නිමි එකක් වේ.
  • සාමාන්‍යයෙන් සාමාජිකයන් 8-12 ත් අතර වේ
  • සාමාන්‍යයෙන් 30-50 ත් අතර ශිෂ්‍ය පිරිසකගෙන් සමන්විතය.
  • සියළු සාමාජිකයන් එකිනෙකාට පෙනෙන ලෙස අසුන් ගනී.
  • ගුරුවරයා පහසුවෙන් පෙනෙන ලෙස අසුන් ගනී. සිසුන්ට ඔවුනවුන් දර්ශනය නොවේ.
  • සාමාජිකයන් එකිනෙකා හොදින් හදුනයි. නැතිනම් හොදින් හදුනා ගැනීමට යොමුවේ
  • ශිෂයන් අතර සබදතාවය අපෞද්ගලික මට්ටමේ වේ.
  • බොහෝ සාමාජිකයන් සාකච්ඡාවට සක්‍රීයව දායක වේ. කතා කිරීමේ අවස්ථාව සියලු දෙනාටම පාහේ හිමිවේ.
  • පාඩම් තුලදී ශිෂ්‍යයින් කිහිපදෙනෙකු පමණක් ක්‍රියාකාරීව සහභාගිවේ. ගුරුවරයා විශාල ලෙස කතා කරයි.
  • පුද්ගලයන්ට සහයෝගීව ක්‍රියාකල හැක. ඉලක්කය පොදු අරමුණකි
  • පුද්ගලයන්ට තනිව කටයුතු කල හැක. පුද්ගලික අභිමතාර්ථ සාධනය ඉලක්කයයි.
  • ගැටළු විසදීමට උත්සාහ කරන අතර විසදීම් ඉදිරිපත් කරයි. මේ තුල සාමාජිකයන් ගේ ස්වයං විශ්වාසය වැඩිදියුණු වේ. ඔවුන්ගේ විමර්ශනාත්මක මනස වැඩිදියුණු වේ.
  • සාධිත විසදුම් ඉදිරිපත් කෙරෙන අතර ඒවා ගුරුවරයෙකු විසින් ඉදිරිපත් කෙරෙන "සත්‍ය" ලෙස නිරූපනය වේ. ඒ තුල ශිෂ්‍යයන් අධිකාරිය මත පාදක වීම වර්ධනය වේ.
  • ප්‍රජාතන්ත්‍රවාදය පිලිබඳ ප්‍රායෝගික පාසලක් ලෙස ක්‍රියාකරයි
  • ප්‍රජාතන්ත්‍රවාදය පිලිබඳ ප්‍රායෝගික හුරුවක් ඇති නොවේ.

කියවීම්
මුද්‍රිත

  1. Bystrom, Jam
    (1988). The Study Circle -A brief introduction.Brevskolan: Sweden 
  2. Group Work Leadership
    (1971). Institute of Adelt Education, University of Dar es Salaam. Brevskolan: Sweden

වෙබ් සම්පත්

  1. the encyclopaedia of informal education
    http://www.infed.org
  2. Catlfonia State University
    http://www.csulb.edu/
  3. University of Texsas
    http://www.utexas.edu

සමථකරණය - ගැටුම් නිරාකරණයේ හොදම ආකෘතියක් ලෙස

වර්ධිත සමාජයක් නෛතික ප්‍රවේශයට වඩා ආරවුල් විසදුම සඳහා ආසක්ත වන්නේ සමථකරණයටයි. සමුපකාර ව්‍යාපාරය සිය ප්‍රතිපත්ති හා සාරධර්ම ඔස්සේ දිශාගත වන්නේ එවැනි සමාජයක් වෙනුවෙනි. එසේනම් සමුපකාර ව්‍යාපාරය තුල පැන නගින ආරවුල් විසදීමට ගමන් ගතහැකි ප්‍රශස්ථතම ක්‍රියාමාර්ගය සමථකරණයයි

සමාජ විද්‍යා විෂයය ක්ෂේත්‍රයේ ප්‍රතිවර්තමාන උප විෂයයකි සායනික සමාජ විද්‍යාව (Clinical Sociology). මෙම විෂයය ක්ෂේත්‍රය තුල සාකච්ඡා වන එක් ක්ෂේත්‍රයක් වන්නේ සමථකරණයයි (Mediation). නමුත් සමථකරණය මෙම විෂයයට පමනක් සීමා වී නැති බවද සටහන් විය යුතුවේ. එය තවත් විවිධ විෂයය ක්ෂේත්‍ර තුල අධ්‍යයනයට ලක් වන බව පෙනේ. සමථකරණය ආරවුල් විසදීමේ විකල්ප ක්‍රියාමාර්ගයකි. නමුත් සමථකරණය සමාජ විද්‍යා විෂයය තුල හෝ වෙනත් නවීන විෂයය ක්ෂේත්‍ර තුලින් බිහිවූවක් නොවේ. එය බිහිවූයේ නවීන විෂයය ධාරා බිහිවීමට අතිශය දිගු සමයකට පෙර බව සදහන්ය. පුරාණ ග්‍රීක ශිෂ්ඨාචාරය තුල මෙහි ප්‍රභවය පලමුව සොයා ගත හැක. එම ආභාෂය ඔස්සේ රෝම ශිෂ්ඨාචාරය මගින් බිහිකල රෝම නීතිය තුල සමථකරණය අන්තර්ගතව තිබීම අපට දැකගත හැකිවනු ඇත.

සමථකරණය කාරණා රැසක් නිසා අපට වැදගත් වේ.

  1. පාර්ෂවයන්ට අඩු පිරිවැයකින් තම ගැටඵව සඳහා විසදුම් ලබා ගැනීමේ හැකියාව
  2. සම්මත නෛතික ක්‍රියාදාමයන්ට වඩා අඩු කාලයක් ගතවීම
  3. සමථකරණ ක්‍රියාදාමය රහස්‍ය හා පුද්ගලික එකක් වීම (අධිකරණය තුල දී නම් මහජන අවධානයට ආරවුල යොමුවීම). සමථකරණ ක්‍රියාවලිය අවසානයේදී ආරවුලට අදාල සියළු ලේඛන විනාශකිරීම සම්ප්‍රදාය නිසා රහහ්‍ය ගතභාවය තවත් තහවුරුවේ.
  4. සමථකරණය බහුවිධ හා නම්‍යශීලී විසදුම්ද ඒ සඳහා වේදිකාවක්ද සම්පාදනය කරයි. අධිකරණය තුලදී ලැබෙන විසදුම එක් පාර්ෂවයක පමනක් සතුටට හේතුවනුඇත. සමථකරණය සිදුවන්නේ පාර්ෂව ද්විත්වයේම සතුටට හා තෘප්තියට හේතුවන පරිදිය. එසේම පාර්ෂව ද්විත්වයේම සුහදත්වය ප්‍රති නිර්මානයට ඉඩකඩද ඇතිවන ලෙසය. මේ නිසා සමථකරණ ගිවිසුමක් අනිවාර්යයෙන්ම ශක්තිමත්ය.
  5. සමථකරණය සිදුවන්නේ පාර්ෂව ද්විත්වයේ අනනෝන්‍ය අවබෝධය තුලිනි. මෙය සංසන්ධි කතිකාවට (negotiation) වෙනස්වේ. සංසන්ධි කතිකාවේදි ශක්තිමත් පාර්ශවය වෙත වැඩි වාසි සැලසෙයි. සමථකරණයේදී ශක්තිමත් පාර්ෂවයට විශේෂ වාසි සැලසෙන්නේ නැත.
  6. හොද සමතකරුවෙකු ගැටුම් නිරාකරණයට හා වෙනස් වෙනස් තත්වයන් යටතේ කටයුතු කිරීමට පුහුණු වූවෙකු වේ. එසේම භාවාත්මක අංශයන් හා මිනිස් සබඳතා පිලිබඳ හොද දැනුවත් අයෙකු වේ. ඔහු හෝ ඇය පාර්ශවයන්ට ගැටළුව සඳහා ධනාත්මක විසදුමක් සඳහා මධ්‍යස්ථ අයෙකු ලෙස සිට මාවත පෙන්වා දෙයි. මේ නිසා සමථකරණය විද්‍යාත්මක විධික්‍රමයක් ලෙසද ගත හැසමථකරුවා අදාල ක්ෂේත්‍රය පිලිබඳ වෘත්තියමය මට්ටමකට ඇතුලත් වූවෙකු වේ.

බොහෝ විට ගැටුම් ලෙස අප අත් දකින්නේ සත්‍ය හේතූන් මත නොව එකිනෙකාගේ අදහස්, විශ්වාස, මතවාද වල විසංවාදීත්වය මත ඇතිවූ ප්‍රපංචයන්ය. ඒවා ක්‍රියාත්මකවී පුද්ගලයන් අතර හා සංවිධානවල සංසක්තිය හීන වී යාම වැලැක්වීමට ඇති හොදම මෙවලම සමථකරණයයි. එය විසංවාදී පාර්ෂවයන් ඈත් කරන්නක් නොව ලං කරන්නකි. එකෙකු දිනා අනෙකා පරාජිතයෙකු නොකරන්නකි. විසම්මුතීන් තුල, විවිධ අදහස් තුල ජීවත් වීම පුහුණු කරන්නකි.

සමථකරණය, සමථකරණයට අදාල පාර්ෂව වලට පමණක් සීමාවන, එහිදී සාකච්ඡාවට බදුන්වන දේ බාහිර පාර්ෂව වලට ගලා නොයන වගකීම් සහිත ක්‍රියා වලියකි. මේ නිසා සමථකරණය තුල පහත ක්‍රියාමාර්ග ආරක්ෂා කල යුතුය. සමථකරණයේදී කතා කරනු ලබන කාරණා අධිකරණයට ඉදිරිපත් නොකිරීම එහි ප්‍රධාන සංරචකයකි. එනම් සමථකරණයෙන් පසු ඉතිරි කරනුයේ සමථයකට පත්වීද, නැත්ද යන කාරණය පමනි. අනෙක් සියඵ ලියවිලි වල පැවැත්ම එතැනින් අවසන්වේ. මේ අනුව සමථකරණයේ රහස්‍යගත භාවය ආරක්ෂා කිරීමට පහත ක්‍රියාමාර්ග අනුගමනය කරයි.

  1. සමථකරණ රැස්වීම් බවත්වන්නේ පූර්ණව ආවරණය කල ස්ථානයකය.
  2. මෙම රැස්වීම් සඳහා බාහිර පාර්ෂවයක් නිරීක්ෂණය කරන්නේ නම් එසේ කල හැක්කේ සමථකරණයට අදාල පාර්ෂව ද්විත්වයේම එකගතාවය මත පමණි.
  3. සමථකරණ ක්‍රියාවලිය තුල ‍ ලේඛනගතකරණයක් සිදු නොවේ. යම් ලෙසකින් සටහන් තබා ගැනීමක් සමථකරු විසින් සිදුකරන්නේ නම් සමතකරණ ක්‍රියාවලිය අවසානයේ දී මෙම සටහන් සියල්ල විනාශ කිරීම සම්ප්‍රදායයි.
  4. ‍බාහිර පාර්ෂවයන්ට ආරවුල සමතයට පත්වීද නැත්ද යන්න හැර වෙනත් කිසිදු තොරතුරක් ලබා දෙන්නේද නැත 

සමථකරණය තුලින් කිසිදු නෛතික තත්වයක් පැන නැංවෙන්නේ නැත. මන්ද එය නෛතික ක්‍රියාවලියක් නොවන හෙයිනි. මෙම නිසා ඹ්නෑම පාර්ෂවයකට විකල්ප නෛතික ක්‍රියාමාර්ගයන්ට යොමු වීමේ හැකියාව පවතී.

පවුල් සමථකරණය, කම්කරු ආරවුල් සමථකරණය, පාරිසරික සමථකරණය, තරුණ / පාසල් / සමවයස් කණ්ඩායම් සමතකරණය (Youth / school conflicts; peer mediation) , රාජ්‍ය නොවන සංවිධාන තුල හා සංවිධාන අතර සමථකරණය, ප්‍රජා පාදක සංවිධාන තුල ඇතිවන ආරවුල් සමථකරණය, අපරාධ වින්දිතයන් හා අපරාධකරු අතර සමථකරණය ආදී ලෙස සමථකරණය විවිධ ශාඛාවන්ට විහිදී ගොස් ඇත. සමථකරණය බොහෝ විට රාජ්‍ය මැදිහත්වීම සහිත ආයතන මගින් සිදුවන ක්‍රියාදාමයක් ලෙස දැකිය හැකි වුවත් එය ප්‍රජා පාදක ව්‍යාපෘති ලෙසද ක්‍රියාත්මක වනු බොහෝ රටවලදී දැකගත හැක. බොහෝ විට සමාජීය සවිබලකරණයේ අංගයක් ලෙස සමථකරණයද භාවිතා කරනු දැකගත හැක.

මේ අනුව සමථකරණයට ලක්වන විෂයය පරාසය පුළුල්ය. එය එසේ පුළුල් වීමට සමථකරණයේ පවතින ප්‍රබලත්වය බලපාන්නට ඇති බව පැහැදිලිය. එසේම ප්‍රජා පාදක සමථකරණයේ අත්දැකීම්ද දැකගතහැකි වීම තුල පැහැදිලි වන්නේ සමථකරණය ස්වේච්ඡාවෙන් ක්‍රියාත්මක කල හැකි වර්ධිත සමාජීය ක්‍රියාවලියක් බවයි. සමුපකාරික සමථකරණයක් වෙත ප්‍රවේශ වන්නේනම් සමථකරණයේ ඇති සාමාන්‍ය ශක්‍යතාවයන්ට අමතරව ව්‍යාපාරයට සුවිශේෂිතව පහත ප්‍රතිලාභද ලැබෙනු ඇත.

  1. ප්‍රජා පාදක සංවිධානයක් ලෙසත්, සුවිශේෂ ප්‍රතිපත්ති හා සාරධර්ම මත පාදක සංවිධානයක් ලෙසත් ගැටුම් විසඳා ගැනීම වඩා ශිෂ්ඨ ක්‍රමවේදයක අනුව සිදු කිරීමේ හැකියාව.
  2. සමාජිකයන් හෝ සේවකයන් අහිමි කර ගැනීමකින් තොරව, සුහදතාවය හා සබඳතා පළුදුවීම අවමත්වයකින් යුතුව හොද මට්ටමේ විසදුම් වලට ගමන් කල හැකි වීම.
  3. නෛතික ක්‍රියාමාර්ග මගින් වන ප්‍රජාවේ සාමාජිකයන් අතර ඇතිවන දුරස්වීම් අවම කර ගත හැකිවීම.
  4. ප්‍රතිඵල ක්ෂණික වීම මත ව්‍යාපාරයේ හා එහි පාර්ශවයන්ගේ කාලය හා ධනය ඉතිරි වීම.
  5. සමුපකාරික ප්‍රජාව විසින්ම සමතකරණ කාර්යයන් මෙහෙයවන නිසා ව්‍යාපාරය පිලිබඳවත්, විෂයය ක්ෂේත්‍රයන් පිලිබඳවත් දැනුවත් සමථකරුවන්ගේ සේවය ලැබීමේ වාසිය.

සමුපකාරික සමතකරණයක් සඳහා
සමුපකාරික සමථකරණයක් වඩා වැදගත් වන්නේ සමුපකාර ව්‍යාපාරය තුල ඇතිවන ආරවුල් වර්තමාන සමථමණ්ඩල තුලට යොමු කිරීමේදී ආරවුලේ පාර්ශවකරුවන් සමථයකට පැමිණීමේ ප්‍රතිශතය ‍සමථකරණය සඳහා ධෛර්යවත් කරවන මට්ටමක නොතිබීම හේතුවෙනි. මෙයට ප්‍රධාන හේතුව මෙම ආරවුල් විසදනුයේ සමථකරණය පිළිබඳ දැනුවත් නමුත් සමුපකාර ව්‍යාපාරය පිළිබඳ දැනුවත් පුද්ගලයින් නොවන බැවිණි. මේ නිසා මෙම ක්ෂේත්‍ර ද්විත්වය පිළිබඳවම දැනුවත් පුද්ගලයින්ගෙන් සැදුම්ලත් සමුපකාර සමථමණ්ඩලයක් ස්වේච්ඡා පදනමින් යුතුව දිස්ත්‍රික්කයකට එකක් බැගින් නිර්මාණය කිරීම මෙම තත්වයට විසදුම බව පෙනේ. ආරවුල් විසදීමේ පලමු පියවර ලෙස සමථකරණය අනුගමනය කිරීම සමුපකාර සමිතිවල සම්ප්‍රදාය බවට පත් කල යුතුවේ. වර්ථමානයේ සමුපකාර සමිතිවල "සම්ප්‍රදාය" වන්නේ නෛතික ක්‍රියාමාර්ගයන්ට යොමු වීමයි. සමථකරණය පිළිබඳ වගන්තීන් සමිති අතුරු ව්‍යවස්ථා තුලට ඇතුලත් කර ගැනීම මෙහි ආරම්භක ක්‍රියාමාර්ගයක් ලෙස වැදගත් වනු ඇත.

කියවීම්

  1. විකිපීඩියා නිදහස් විශ්ව කෝෂය 
    www.wikipedia.org
  2. http://www.eeoc.gov/mediate/
  3. http://www.nolo.com/article.cfm

සමුපකාර අනන්‍යතාවය පිළිබඳ ප්‍රකාශය - 1995
The 1995 ICA Statement on the Cooperative Identity

[ජාත්‍යන්තර සමුපකාර සංධානය විසින් 1995 වසරේදී සූත්‍රගතකරන ලද අතර 2001 වසරේදී එක්සත් ජාතීන්ගේ සංවිධානය සහ 2002 වසරේදී ජාත්‍යන්තර කම්කරු සංවිධානය විසින් අනුමත කරන ලදී]
[ Formulated by the International Cooperative Alliance (ICA) in 1995, affirmed by the United Nations (UN) in 2001 and the International Labour Organisation (ILO) in 2002.]
අනුවර්තනය:- ප්‍රභාත් ගලගමගේ
මෙම ප්‍රකාශයේ PDF ගොණු ආකෘතියේ පිටපතක් දක්ෂිණ සමුපකාර අන්තර්ජාල බිහිදොර වෙබ් අඩවියේ අතත්‍ය පොත් හලින් ලබාගත හැක.

A. DEFINITION නිර්වචනය
සමුපකාරය යනු ස්වේච්ඡාවෙන් ඒකාබද්ධ වූ පුද්ගලයන් ගේ ස්වයංපාලිත සංගමයක් ඔස්සේ ඔවුන්ගේ පොදු ආර්ථික, සමාජීය, සහ සංස්කෘතික අවශ්‍යතා සහ අභිලාශයන් ඉටු කරන සාමූහික අයිතිය හා ප්‍රජාතාන්ත්‍රික පාලනය ඇති ව්‍යවසායකත්වයකි.

B. VALUES සාරධර්ම
ස්වෝපකාරය, ස්වයං වගකීම, ප්‍රජාතන්ත්‍රවාදය, සමානාත්මතාවය, සාධාරණත්වය හා සාමූහිකත්වය යන සාරධර්ම මත සමුපකාරය පදනම් වේ. එසේම ඔවුන්ගේ පුරෝගාමීන්ගේ සම්ප්‍රදාය අනුව සමුපකාර සාමාජිකයෝ අවංකත්වය, විවෘතභාවය, සමාජ වගකීම සහ අනෙකා පිලිබඳව ගරුකිරීම යන ආචාර ධර්මික සාරධර්ම පිලිබඳවද විශ්වාස කරති.

C. PRINCIPLES මූලධර්ම
සමුපකාර මූලධර්ම යනු සමුපකාර සාරධර්ම භාවිතයක් බවට පත් කරගන්නේ කෙසේද යන්න පිළිබඳ මාර්ගෝපදේශයකි.

1st Principle: VOLUNTARY AND OPEN MEMBERSHIP
පළමු මූලධර්මය : ස්වේච්ඡා හා විවෘත සාමාජිකත්වය

සමුපකාර යනු ස්වේච්ඡා සංවිධානයන්ය, සාමාජිකත්වයට අදාල වගකීම් ස්ව කැමැත්තෙන් පිළි ගන්නා සියලු පුද්ගලයන්ට පුමතිරිමය, සමාජ, වාර්ගික, දේශපාලනික, හෝ ආගමික වශයෙන් වෙනස්කොට සැලකීමෙන් තොරව එහි සේවාවන් භාවිතයට විවෘතය.

2nd Principle: DEMOCRATIC MEMBER CONTROL
දෙවන මූලධර්මය : ප්‍රජාතන්ත්‍රවාදී සාමාජික පාලනය

සමුපකාරය යනු සාමාජිකයන් ක්‍රියාකාරී ලෙස ප්‍රතිපත්ති සැකසීමට සහ තීරණ ගැනීමේ කාර්යයන් සඳහා සහභාගීවන සාමාජිකයන්ගෙන් පාලනය වන ප්‍රජාතන්ත්‍රවාදී සංවිධානයකි. කාන්තාවන් හා පිරිමින් සාමාජිකත්වයට වග කියන ඡන්දයෙන් තේරීපත් වූ නියෝජිතයන් ලෙස කටයුතු කරනු ඇත. ප්‍රාථමික සමුපකාර සමිති තුල සාමාජිකයන්ට සමාන ඡන්ද අයිතිය ඇත (එක් සාමාජිකයෙකුට එක ඡන්දයයි). අනෙකුත් මට්ටම් වල සමුපකාරද ප්‍රජාතන්ත්‍රික ශෛලියකට සංවිධානය වනු ඇත.

3rd Principle: MEMBER ECONOMIC PARTICIPATION
තෙවන මූලධර්ම : සාමාජික ආර්ථික සහභාගිත්වය

සාමාජිකයන් සමානාත්මක ලෙස හා ප්‍රජාතාන්ත්‍රික ලෙස ඔවුන්ගේ සමුපකාරයේ ප්‍රාග්ධනය පාලනය කරයි. එසේම මෙම ප්‍රාග්ධනයෙන් යටත් පිරිසෙයින් කොටසක් වත් සාමාන්‍යයෙන් සමුපකාරයේ පොදු දේපලක් බවට පත් වේ. ප්‍රාග්ධන දායකත්වය සාමාජිකත්වයේ කොන්දේසියක් නම් සාමාජිකයින් සාමාන්‍යයෙන් ඒ වෙනුවෙන් සීමිත වන්දියක් ලබා ගනිති. සාමාජිකයන් අතිරික්තය පහත කුමන හෝ කාර්යයක් සඳහා වෙන් කරති: සමුපකාරය සංවර්ධනයට; සමහර අවස්ථාවලදී සංචිත පිහිටුවීමට, එසේම ඒවායින් කොටසක් බෙදිය නොහැකි ලෙස; සාමාජිකයන් සමුපකාරය සමඟ කරුණු ලැබූ ගණුදෙනු වලට සමාන්තර ප්‍රතිලාභයන් ලෙස; සහ සාමාජිකත්වය විසින් අනුමත කල වෙනත් ක්‍රියාකාරකම් සඳහා

4th Principle: AUTONOMY AND INDEPENDENCE
සිව්වන මූලධර්මය : ස්වයංපාලනය හා ස්වෛරීභාවය

ස මුපකාර එහි සාමාජිකයන් මගින් පාලනය වන ස්වයංපාලිත, ස්වසාධන (ස්වෝපකාර) සංවිධාන‍යන්ය. ඔවුන් රජය ඇතුළුව, වෙනත් සංවිධාන සමඟ ගිවිසුම්ගත වේ නම්, හෝ බාහිර සම්පත් මගින් ප්‍රාග්ධනය වර්ධනය කර ගනී නම්, සාමාජික පාලනය හා ස්වයංපාලිත බව ආරක්ෂා වන ලෙස එම කාර්යයන් සිදු කල යුතුවේ.

5th Principle: EDUCATION, TRAINING AND INFORMATION
පස්වන මූලධර්මය : අධ්‍යාපනය, පුහුණුව හා තොරතුරු

සමුපකාර තම සාමාජිකයන් සඳහා අධ්‍යාපනය හා පුහුණුව සම්පාදනය කරයි. මැතිවරණයෙන් තේරීපත් නියෝජිතයන්, කලමනාකරුවන්, සහ සේවකයන් ට තම සමුපකාරය වර්ධනය සඳහා දායකවිය හැක. ඔවුන් පොදු ජනයාට , ප්‍රධාන වශයෙන්ම තරුණ ජනයාට හා මතවාදී නායකයින්ට සහයෝගීතාවයේ ස්වාභාවය හා ප්‍රතිලාභ පිලිබඳව සැලකර සිටිනු ඇත.

6th Principle: COOPERATION AMONG COOPERATIVES
හයවන මූලධර්මය : සමුපකාර අතර සහයෝගීතාව

තම සාමාජිකයන්ට සේවා සම්පාදනයේදී සමුපකාර ව්‍යාපාරයේ දෘඩතර ශක්තිය වනු ඇත්තේ ප්‍රාදේශීය, ජාතික, කලාපීය සහ ජාත්‍යන්තර ව්‍යුහය තුල ඒකාබද්ධව ක්‍රියාකිරීමයි.

7th Principle: CONCERN FOR COMMUNITY
හත්වන මූලධර්මය : ප්‍රජාව පිළිබඳ සැලකිලිමත්වීම

සමුපකාර ක්‍රියාත්මක වන්නේ සාමාජිකත්වය විසින් අනුමතකල ප්‍රතිපත්ති ඔස්සේ ඔවුන්ගේ ප්‍රජාවේ ධරණීය සංවර්ධනයක් ඇතිවන පරිදිය.

ලේඛකයන් පිළිබඳව

එස්. නන්දලාල් 
රාජ්‍ය සාහිත්‍ය සම්මානලාභී පරිවර්තකයෙකි, කෙටි කතාකරුවෙකි, සමුපකාර අධ්‍යයනයට අදාල කෘතීන් හා ලිපි රැසක් ප්‍රකායට පත්කර ඇත. 
බස්නාහිර පළාත් සමුපකාර සංවර්ධන දෙපාර්තමේන්තුවේ සමුපකාර සංවර්ධන නිළධාරියෙකි.

ඩබ්ලිව්. ජී. එන් ප්‍රනාන්දු
B.Sc.(HRM) 2nd Upper USJP.,
DPC (Ruhuna) , Professional Psychological Counselor, Consultant HRD, Tharuna Aruna, Visiting Lecturer (SLIAT).
ජාතික සමුපකාර සංවර්ධන ආයතනයේ කථිකාචාර්ය වරයෙකි. 

ප්‍රභාත් ගලගමගේ
B.A(sp)- Sociology, M.A-Sociology, Reading for M. Phil (Sociology and Anthopology), Diploma in Co-Operative Development, National Certificate in Computer Applications, CCCT (University of Ruhuna), Editor of Electronic Journal of Sociology and Anthopology
දකුණු පළාත් සමුපකාර සංවර්ධන දෙපාර්තමේන්තුවේ සමුපකාර සංවර්ධන නිළධාරියෙකි.