ලිපි පෙළ ගැස්ම
සමුපකාර ව්‍යාපාරය හදුනාගනිමු
එස්. නන්දලාල්
සමුපකාර ව්‍යාපාරයේ ආරම්භය හා වර්ධනය පිලිබඳ සංක්ෂිප්ත සටහනක්
ප්‍රභාත් ගලගමගේ
රොබර්ට් ඕවන් - සමාජ ප්‍රතිසංස්කරණවාදියා
ප්‍රභාත් ගලගමගේ
සමුපකාර ව්‍යාපාරය ඓතිහාසික හේතූන් රැසක් මත බිහිවූ මානව ව්‍යාපෘතියකි. මෙම ව්‍යාපාරයේ ලාංකීය සන්දර්භය මෙන්ම ලෝක සන්දර්භයද දැන ගැනීම, ව්‍යාපාරය පිළිබඳ දැනුවත් වීමට අපේක්ෂා කරන්නෙකුට අත්‍යාවශ්‍ය වේ.
මෙය ලිපියේ පලමු කොටස වන අතර ලිපියේ දෙවන කොටස 2009 ජූලි - අගෝස්තු කලාපයේ පලවනු ඇත
සමුපකාර ව්‍යාපාරය -? ඒ කුමක්ද?
සමුපකාර ව්‍යාපාරය ගැන උනන්දුවක් දක්වන සියළු දෙනාට "සමුපකාරය" නම් කුමක්දැයි දැන ගැනීම වැදගත්ය. එනිසා අපි සමුපකාරය නම් කුමක්ද යන පැනය විමසමු. මේ ප්‍රශ්ණය සියක් දෙනෙකුගෙන් අසන ලද හොත් ලැබෙන පිළිතුරු සියය එකිනෙකට වෙනස් විය හැකිය. එතරම් දෘෂ්ටිණකෝණ ගණනාවකින් මිනිස්සු සමුපකාරය දෙස බලති. එහෙත් මීට කිසිවෙකු දොස් ලැබිය යුතු නැත.මන්ද යත් ඔවුන්ට - ඒ කියන්නේ සාමාන්‍ය ජනයාට සමුපකාරය යනු කුමක්ද? එහි අන්තර්ගතය කවරේද, එහි දර්ශනය කවරාකාරද යන්න පිලිබඳ දැනුමක් ලබා ගැනීමට මගක් නොමැති බැවිනි.
එබැවින්අපි පලමුව සමුපකාරය යනු කුමක්දැයි කියාදී ඉන්පසුව පූර්වෝක්ත පැනය ඔවුන් වෙත යොමු කරමු.
ප්‍රශ්නයක් ඇත්තේ සමුපකාරය නම් කුමක්ද යන්න යන්න ගැනම පමණක් නොවේ. එහි පැවැත්ම (being) ගැනද බොහෝ දෙනාට ගැටලුවක් ඇත. සමුපකාරය ගැන සඳහන් කරන විට ඇතැම්හු "සමුපකාරයක් දැන් තිබෙනවාද?" වැනි ප්‍රශ්න පෙරළා අසති. එබදු පුද්ගලයන්ටද පිළිතුරු දිය හැක්කේ ඔවුන්ටද සමුපකාරය නම් කුමක්දැයි කියා දීමෙන් පමණි.
කෙසේ වෙතත් සමුපකාරය යනු ඉතා කෙටියෙන් හදුන්වා දිය හැක්කක් නොවන බව නම් ඉදුරා කිව යුතුය.
ඒ සමුපකාරය යන පදය සමඟ ඈදෙන ඊටම විශේෂ වූ වෙනත් සංකල්ප, ආයතන පද්ධති යනාදිය ඇති හෙයිනි. උදාහරණ ලෙස "සමුපකාර ව්‍යාපාරය" නම් නිතර කියවෙන පදය ගනිමු, මේ කියන්නේ මොනතාලේ ව්‍යාපාරයක්ද?, business එකක්ද? enterprise එකක්ද? scheme එකක්ද? project එකක්ද?, campaing එකක්ද?, movement එකක්ද?, යනාදී ප්‍රශ්ණ මෙහිදී පැන නැගේ.
සමුපකාරය සමඟ යෙදෙන තවත් පදයක් ප්‍රතිපත්ති යන්නය. සමුපකාර ප්‍රතිපත්ති යයි කී විට ඉන් අදහස්කරන්නේ කුමක්ද? Principles සහ Policies යන පද දෙකටම ප්‍රතිපත්ති යන සිංහල පදය යෙදේ. නමුත් Principles යන්නට වඩා යෝග්‍ය වූත් නිවරදිවූත් සිංහල පදය ප්‍රතිපත්ති නොව මූලධර්ම විය යුතුය. ආරම්භයේ සිටම Cooperative Principle යන්නට සිංහලෙන් දැක්වෙන්නේ "සමුපකාර ප්‍රතිපත්ති"යනුවෙනි. ජාතික අධ්‍යාපන ආයතනය මේ ප්‍රතිපත්ති යන වචනය Policies ලෙස දක්වා ඇත.
ඊලගට සමුපකාරය යන පදය ගැන සලකා බලන්නේ නම්, ඒ පදය කවර ප්‍රභවයකින් පැවත එන්නක්ද? සමුපකාරය හා සහයෝගීතාව යන සිංහල පද දෙකම, ඉංග්‍රීසියෙන් Cooperation යන්නට සමාන ලෙස යෙදේ. එසේනම් Cooperation යන ඉංග්‍රීසි පදය කවර අවස්ථාවක සමුපකාරය වෙනුවෙන් පෙනී සිටීද, කවර අවස්ථාවක සහයෝගීතාවය වෙනුවෙන් පෙනී සිටීද? ලංකාවේ මාර්ග බාධක වල තබා ඇති පුවරුවල දක්නට ලැබෙන "Thanks you for your kind cooperation" යන්න සලකා බලන්න.මෙහි අරුත "ඔබගේ සමුපකාරයට බොහෝ තුති" වන්නේද?. තවත් උදාහරණයක් ලෙස SAARC යන්න ගත හැකිය. SAARC යනු South Asian Association for Regional Cooperation යන පාඨයේ මුලකුරු වල එකතුව වෙයි. මෙය "කලාපීය සමුපකාරය පිලිබඳ දකුණු ආසියානු හවුල" යයි සිංහලට පරිවර්තනය කරන ලදහොත් කෙබන්දක් වනු ඇත්ද?
සමුපකාරය යන පදය සිංහලෙන් ලිවීමේදී පවා වෙනස්කම් තිබේ. බොහෝ දෙනෙක් එය ලියන්නේ සමූපකාරය යනුවෙනි. එය ශබ්ද කරන විට එතැන ඇති පනකුර "උ" ද නොඑසේනම් "ඌ" ද යන්න සිතා බැලීම සුදුසුය. ඇතමුනට එය සමූපේ ය. "සමූපෙට තාම බඩු ඇවිත් නෑ", "දැන් සමූපෙ මැනේජර් හරි හොදයි", වැනිදෑ අපට නිතර අසන්නට ලැබේ. පොදු ජන වහරේ මෙවැනි කෙටි යෙදුම් එනම් සුඛෝච්ඡාරණ ඇතිවීම වැලැක්විය නොහැකිය. එහෙත් මගේ අදහස නම් ඔබ සමුපකාරය යනු කුමක්දැයි හරියට වටහා ගත්තේ නම් එවැනි යෙදුමක් භාවිතා නොකරනු ඇති බවයි.
ඊලගට ඇති ගැටලුව නම් සමුපකාර ගණයට වැටෙන්නේ මොනවාද යන්නයි. සමුපකාරය යනු ගමේ ප්‍රාදේශික වෙළද සැල පමණක්ද නැතිනම් ඒ ප්‍රාදේශිකය අයත් විවිධසේවා සමුපකාර සමිතියද? සමුපකාර සමිති දැන් පිරිහෙලා යයි කියන හෝ දැන් සමුපකාර සමිති තියෙනවාදැයි අසන හෝ කෙනෙක් සාර්ථක ලෙස ව්‍යාපාර කටයුතු පවත්වාගෙන යමින් මහා පොදු ජන මෙහෙවරක් ඉටු කරන සකසුරුවම්කම හා ණය ගණුදෙනු පිළිබඳ එනම් "සණස සමිති", සමුපකාර සමිති විශේෂයක් ලෙස නොදකිති.
මෙලෙස සමුපකාරය නොහොත් සමුපකාර ව්‍යාපාරය ගැන ලංකාවේ පොදු ජනයා අතර බොහෝ මතවාද පවතින බව පැහැදිලිය. මේ මතවාදයන් සංකූල ඒවා වන අතර දුර්මත වලින් පිරී ඉතිරී ගොසිනි. මේ දුර්මත පරම්පරාවෙන් පරම්පරාවට යන්නේ ඇමීබාකාරයෙන් වැඩෙමිනි.
මීට හේතුව මෙම ලිපිය ආරම්භයේදීම සදහන් කලාක් මෙන් පොදු ජනයාට සමුපකාරය යනු කුමක්දැයි වටහාදීමට කිසිවෙකු උත්සාහ නොකිරීමයි. එනම් ඔවුන් දැනුවත් නොකිරීමයි. ශාස්ත්‍රීය විදුහුරු ලෙස සමුපකාරය යනු කුමක්දැයි ජනයා දැනුවත් කලහොත් මිනිසුන් මෙකරම් සමුපකාරයෙන් ඈත් නොවනු ඇත.
සහක්‍රියාව, සහයෝගය හා සමුපකාරය
සමුපකාරය නැමති සංවිධාන විශේෂය නැතහොත් ක්‍රියා පිලිවෙත බටහිරින් අපට ලැබුනු දායාදයක් විනා අප සමාජයේ ස්ථාපිතව තිබූ දෙයක් නොවේ. මෙම සංකල්පය පැන නැගුණේ මනුෂ්‍ය සමාජය තුල ඈත අතීතයේ සිටම පැවත එන එකිනෙකාට උදව් උපකාර කිරීමේ හා එක්ව ක්‍රියා කිරීමේ මහගු ගුණාංගය තුලිනි. ඇත්තටම නම් සමුපකාරය යනු එකිනෙකාට උදවි උපකාර කිරීමේ සහ එක්ව ක්‍රියා කාරීමේ ක්‍රියා පිලිවෙතේ දිගුවකි.
සමුපකාරය දැන හදුනා ගන්නට නම් එහි මූලික සංකල්ප ගැන නිවරදි වැටහීමන් ඇතිකර ගැනීම අත්‍යවශ්‍යය. ඊටත් පෙර අප විසින් කල යුතු වන්නේ සමුපකාරය යන සිංහල වදනක් එහි ඉංග්‍රීසි පදය වූ cooparation යන්නත් පිලිබඳව විශයානුබද්ධව විමසා බැලීමයි.
Oxperd Advance Learner's ශබ්ද කෝෂයට අනුව cooperation යන පදය cooparate යන්නෙන් නිරුක්ත වන්නකි. cooparate යනු operate යන (ක්‍රියා) පදයට co- යන පෙර ඈදිය (prefix) සම්බන්ධ වීමෙන් සැඳුනකි. co යන පෙර ඈදිය එක්වූ විට එවැනි පදයකට හවුල් සාමූහික වැනි අරුතක් එකතු කෙරේ. co- යන්නට සමාන අරුත් ඇති සහ- යන පෙර ඈදිය ඇතැම් විට එහි යෙදේ. උදාහරණ මෙසේය,
production (නිශ්පාදනය) > coproduction (හවුල් නිශ්පාදනය)
incidence (සිදුවීම) > coincidence (සහ සිදුවීම)
operation (ක්‍රියාත්මකවීම, ක්‍රියාව, මෙහෙයුම) > cooperation (හවුලේ ක්‍රියාත්මකවීම, සහක්‍රියාව)
පෙර සඳහන් ශබ්ද කෝෂයේ දැක්වෙන පරිදි cooperate යන පදය සහ ඉන් විභින්න පදවල සිංහල අරුත් මෙසේය.
cooperate (ක්‍රියාපදය) : සාමූහිකව කටයුතු කරනවා සාමූහිකව ක්‍රියාත්මක වෙනවා, සමුපකාරික වනවා (චාල්ස් කාර්ටන් ශබ්ද කෝෂය)
cooperation (නාම පදය) : සාමූහිකව ක්‍රියාත්මකවීම, සහයෝගීතාවය, සහක්‍රියාව, සමුපකාරය
cooperative (නාම විශේෂණය) : සහයෝගී, සාමූහික, සමුපකාර (සමුපකාර සමිති යනාදියේ)
cooperatively (ක්‍රියා විශේෂණය) : සහයෝගයෙන්, සාමූහිකව, සමුපකාරිකව
මෙයින් ව්‍යුත්පන්න පදයක් ලෙස cooperative යන නාම පදය ඒ ශබ්ද කෝෂයේ දැක්වේ. එහි අරුත සමුපකාරය යනුයි. එයට සහයෝගීතාව සහක්‍රියාව යනාදී වෙනත් තේරුම් නැත. එය සමුපකාරය සඳහා වන පාරිභාෂික පදය ලෙස ගැනීමේ දොසෙක් නැත. මෙහිදී වටහා ගතයුතු කරුණු දෙකක් තිබේ,
-
සමුපකාරය යන නාම පදය සඳහා ඉංග්‍රීසියෙන් cooperation සහ cooperative යන පද දෙකම යෙදෙන බව.
-
ඉංග්‍රීසියෙන් cooperative යන පදය නාම පදයක් ලෙසද නාම විශේෂණයක් ලෙසද යෙදෙන බව.
මේවා අතර ඇත්තේ ඉතා සියුම් වෙනසකි.මෙම සියුම් වෙනස වටහා නොගැනීමෙන් ඇතැම් සමුපකාර ගුරුවරුන් අතින් පවා බරපතල වැරදි සිදුවිය හැකිය.
ග්‍රී ලංකාවේ අතීතයේ සමුපකාර ක්‍රමය තිබූ බවත්, දාගැබ්, මහ වැව් යනාදිය නිර්මාණය කළේ ඒ අනුව බවත් ඇතැම්හු කියති. මේ මතය සාවද්‍යය. මාක්ස් පෙන්වා දෙන ආකාරයට මේ ඉදිකිරීම් මතු නොව කලා නිර්මාණ වලට පවා පදනම් වූයේ අතිරික්ත ශ්‍රමය සහ අතිරික්ත ධනයයි. ඒවායේදී ශ්‍රමිකයෝ (වහල්ලු, අඳ ගොවීයෝ සහ යටත් වැසියෝ) අණට අවනතව සිය කාර්යයයේ යෙදුනෝය. ඔවුන්ගේ අරමුණ වූයේ අණට අවනත වීම විනා නිර්මාණ ගොඩ නැංවීම නොවේ. එහෙත් එහිදී සාමූහික ක්‍රියාවලියක් තිබුනා විය හැකිය.
ඉංග්‍රීසි cooperation යන පදය සහ ක්‍රියාව, සහයෝගය හා සමුපකාරය යන තුන් ආකාරයෙන් යෙදෙන බව පෙර සඳහන් කෙරිණි. දැන් එය විමසා බලමු.
සහක්‍රියාව
යම් කිසි ක්‍රියාදාමයකදී පුද්ගලයන් කිහිප දෙනෙක් කාර්යය සඵල කර ගැනුම සඳහා ක්‍රියාත්මක වීම. උදාහරණයක් ලෙස මගේ මේ ලිපිය මගේ ලිවීමත් ඔබ එය කියවීමත් අතර කී දෙනෙකුගේ කියාකාරකම් තිබේදැයි සිතා බැලීම වටී. බොහෝ දෙනෙක් එකිනෙකා නොහදුනාම මේ කාර්යයට සම්මාදම් වෙති. එක් අයෙකුගේ කාර්යය අනෙකාගේ කාර්යය ඇරඹෙන තැනින් අවසන් වෙයි. එහෙත් මේ හවුල් ක්‍රියාවලියේ ඔවූහු සැම සාමූහිකව නිරුත්සාහයෙන්ම ඊට යොමුවී සිටිති.
සහයෝගය
සහයෝගය යනු නිරායාස හෝ අවිඥානික දෙයක් නොවේ. එහිදී දෙදෙනෙකු හෝ ඊට වැඩි ගණනක් පුද්ලයන් අවබෝධයෙන් යුතුව උදව් උපකාර හුවමාරුකර ගැනුමයි. එතැන යම්කිසි ක්‍රියාදාමයක් තිබෙනවා හෝ නොතිබෙනවා විය හැකියි. මානව වංශ කතාවේ ආරම්භක යුගවලදී පවා සහයෝගය තිබුණැයි සිතිය හැකිය (ගල් යුගයේදී පවා). එහෙත් මිනිසා ජනාවාසකරණයට යොමුවූ දා සිට ඔහුට එකිනෙකා අතර විස්වාසයෙන් යුතුව උදව් උපකාර හුවමාරු කර නොගෙන බැරි විය. ගොවිතැන් වැඩ වලදී අන් අයගේ උදවි අවශ්‍ය විය. මේ නිසා ජනාවාසයක මිනිස්සු සියල්ලෝ එකිනෙකාට උදවි කර ගනිති. මේ හුවමාරුව සහයෝගය නමි.
මෙහිදී ආත්මාධාරය (Self Help) ප්‍රමුඛ වේ. එහෙත් මෙතැන ගණුදෙනුවක් තිබේ. උදව් ලබා ගැනිමට නම්, තමන්ද උදව් කලයුතු වීමයි. ඒ එය, පරෝපාකාරය (helping others) වේ.
සහයෝගීතාවට අත්‍යාවශ්‍ය අංගෝපාංගද තිබේ. මූලික වශයෙන් එහිදී කරුණු තුනක් සපුරා ලිය යුතු බව පෙනේ. ඒවා මෙසේය,
-
සහයෝගීතාවයෙන් කටයුතුකරන අය අතර සාංගමිකත්වය, එක්සත් බව, යනාදී ගුණාංග තිබිය යුතුය.
-
ඔවුන් අතර අනෙකාගේ කැමැත්තට එකගවීම සහ බහුතරයකගේ කැමැත්ත අනුව තීරණ ගැනීම එනම් ප්‍රජාතන්ත්‍රවාදී බව තිබිය යුතුය.
-
සේවය සැමදෙනාටම සමානව ලබාදෙන සාධාරණත්වය (eqvity) තිබිය යුතුය.
අවම වශයෙන් මේ ගුණාංග තුනවත් නොමැතිව සහයෝගීතාවයක් තිබිය නොහැකිය.
සංවිධානාත්මක සහයෝගීතාව පොදුජන ව්‍යාපාරයක් ලෙසින් අතීතයේ පැවතිණි. සමුපකාර ව්‍යාපාරය ලොව බිහිවන්නට බොහෝ කලකට ඉහතදී පවා එවැනි සංවිධාන පැවතිණි. ඒ ගැන පසුව සාකච්ඡා කෙරෙනු ඇත.
සමුපකාරය
සමුපකාරය යනු වෙනම ව්‍යාපාර විශේෂයකි. එක්වරම පොදුජන ව්‍යාපාරයක් (movement)ද, වානිජ ව්‍යාපාරයක් (business) ද වන එය 1844 දෙසැම්බර් 10 දා එංගලන්තයේ මැන්චැස්ටර්හි රොච්ඩේල් නම් ගම් පියසේ "රොච්ඩේල් සාධාරණ පුරෝගාමීන්ගේ සමුපකාර වෙළදසැල" ඇරඹීමත් සමඟ ලොව බිහිවිණි යයි සාමාන්‍ය සම්මතය වේ.
මේ අයුරින් cooparation යන ඉංග්‍රීසි පදයට ගැලපෙන විවිධ සිංහල පදවලට වෙනස් අරුත් තිබේ. එසේම ඒවා යෙදෙන්නේද ඒ ඒ අවස්ථාවන්ට ඔබින පරිදි වේ. සමුපකාරය යන පදය පුරාතන සිංහලයේ නොපැවති බව, ශ්‍රී සුමංගල ශබ්ද කෝෂයේ එය ඇතුලත් නොවීමෙන් පැහැදිලිය. ශ්‍රී සුමංගල ශබ්ද කෝෂය වනාහී සියබස්ලකර මතු නොව ඊටත් පැරණි සීගිරි කුරුටු ගී වල සිට චාල්ස් කර්ටන් ශබ්ද කෝෂයද ඇතුලත් ඒ දක්වා මුද්‍රනය වී තිබූ ශාස්ත්‍රීය ග්‍රන්ථ 153ක් බහු සටත පඩිවරුන් 40 දෙනෙකු විසින් පරිශීලනය කොට සංගෘහිත කෝෂ ග්‍රන්ථයකි. මෙයින් නිගමනය කල හැක්කේ සමුපකාරය යන වදන එවකට ව්‍යවහාරයේ නොපැවති බවයි.
නමුත් බැප්ටිස්ට් මීසමේ පූජ්‍ය චාල්ස් කර්ටර් දේවගැති තුමා විසින් සංග්‍රහ කරනු ලදුව 1889 දී මුද්‍රනද්වාරයෙන් පිටවූ An English Sinhala Dictionary නම් ශබ්ද කෝෂයේ cooperate යන ඉංග්‍රීසි පදයට සමාව අරුත් ඇති ඒවා ලෙස "එකට එක්ව ක්‍රියාකරනවා, එකතුව වැඩකරනවා, සමුපකාරික වනවා" යන පද දී තිබේ.
ශ්‍රී සුමංගල ශබ්ද කෝෂය සම්පාදනයේදී චාල්ස් කර්ටන් ශබ්දකෝෂය ආශ්‍රය කොට ඇති නමුත්, සමුපකාරය යන පදය ඊට ඇතුලත් කර නොගන්නා ලද්දේ එය පුරාතන සිංහල සාහිත්‍යයේ භාවිතා නොවූ පදයක් නිසාය.
සමුපකාරය යන සිංහල පදයේ සම්භවය
පෙර සඳහන් කරන ලද පරිදි සමුපකාරය යන සිංහල පදය මුලින්ම භාවිතා කරනු ලැබ ඇත්තේ චාල්ර්ස් කර්ටර් දේවගැතිතුමාගේ ඉංග්‍රීසි සිංහල ශබ්ද කෝෂයේ බව පැහැදිලිය
cooperation යන ඉංග්‍රීසි පදයට සුදුසු සිංහල පදය සැකසීමේදී කාර්ටර් දේවගැතිතුමාට සමුපකාර ව්‍යාපාරය ගැන කිසියම් අදහසක් තිබුනා විය හැකිය. කාර්ටර් ශබ්ද කෝෂයේ cooperation යන්නට සී ඇති අරුත් මෙසේය : එක්ව, එකට, සහකාරය ක්‍රියා කරනවා, එකතුව වැඩ කරනවා, සමුපකාරික වනවා”
කාර්ටර් ශබ්ද කෝෂයට රත්මලානේ ධර්මාරාම නායක හාමුදුරුවන් වහන්සේද සරම් මුදලි තුමා සහ සයිමන්ද සිල්වා මුදලි තුමාද සිය දායකත්වය ලබාදී ඇත. මේ වනාහී එකල විසූ ප්‍රමුඛ පෙලේ ද්වි භාෂා උගත්තු වූහ.
ලෝකයේ සහයෝගීතාව, සාමූහික බව යනාදිය සඳහා නොයෙක් සංවිධාන තිබුනද සමුපකාර ව්‍යාපාරය නැමති සංවිධාන ව්‍යුහය බිහිවූයේ රොච්ඩේල් වෙළද සැල ඇරඹීමත් සමගය. අලුතින් ඇතිවූ මේ ව්‍යාපාරයට cooperation යන පදයම පාරිභාෂික පදය ලෙස භාවිතයට ගැනිණි. මෙහි පවත්නා වෙනස හදුනාගෙන සිටි කාර්ටර් දේවගැතිතුමා තමන්ම හෝ තම සහය විද්‍යාර්ථීන්ගේ සහයෙන් හෝ මේ අළුත් ව්‍යාපාරය සඳහා නව සිංහල පාරිභාෂික පදයක් නිපදවා ඇත. සමුපකාර යන පදයත් ඉන් ව්‍යුත්පන්න අනෙකුත් පදත් ඇතිවූයේ ඒ අනුව බව මෙනයින් පැහැදිලිය. එයින් පෙනී යන්නේ සමුපකාර යන පදය හෙලයින්ගේ බසට හදුන්වාදීමේ ගෞරවය ඉංග්‍රීසි ජාතික චාල්ස් කර්ටන් පියතුමාට හිමිවිය යුතු බවයි.
සමුපකාර යන පදය සැදුනේ කෙසේදැයි විස්තර කිරීමේදී එය “ සම” සහ “උපකාර” යන පද දෙකේ පූර්වස්වරලෝපයෙන් සන්ධිවී සැදුනයි යන්න ප්‍රකට මතය වේ. එය එසේ විය හැකි නමුත් එහි පසුබිම විමසා බැලීමද සුදුසුය.
රොච්ඩේල් පුරෝගාමීන්ගේ සමකාලීනායකු වූත්, රොබර්ට් ඕවන්ගේ අනුගාමිකයෙකු වූත් ජෝර්ජ් ජේකබ් හෝල්යෝක් විසින් Self Help by the People නමින් පොතක් ලියා 1893 දී පල කරන ලදී (මේ පොතේ උප සිරස වූයේ The History of the Rochdale Pioneers) යන්නයි). Self Help යන්න සිංහලට නැගුව හොත් “ස්ව” සහ “උපකාර” යන පද දෙකවේ. ස්ව” සහ “උපකාර” යන පද දෙක එකට ගෙන ඉසිර වුවහොත්, ඉන් සමුපකාර යන්න නිරාසයෙන්ම කියවෙන බව පසක් වනු ඇත.
සමුපකාරය යන පදය සම් + අ + උපකාර යන්නේ “අ” ස්වරය ලොප්ව සෑදුණු එකක් හෝ ස්ව + උපකාර > සමඋපකාර > සමුපකාර යනාදී වශයෙන් සෑදුනක් හෝ විය හැකි බව මින් පැහැදිලිය. එකල භාවිත භාෂාව ගැන සලකන විට දෙවනිව දැක්වෙන අදහසද ඉවත දැමිය නොහැකිය.
ලංකාවේ පලමුවෙන්ම සිංහල - ඉංග්‍රීසි හා ඉංග්‍රීසි - සිංහල ශබ්ද කෝෂයක් සම්පාදනය කරන ලද්දේ බැප්ටීස්ට් මීසමේ බෙන්ජමින් ක්ලච් (Rev. Benjamin Clough) දේවගැතිතුමා විසිනි. Dictionary of the English and Sinhalese නම් වූ එය 1821 වසරේදී මුද්‍රනයෙන් නිකුත්ව තිබේ. එහි cooperate යන ක්‍රියා පදයට දී ඇති අරුත වන්නේ “සහභාගිකරනවා. සමගිව උදවි කරනවා, එකතුව වැඩ කරනවා” යනුයි. cooperation යනු “සහභාගීව ක්‍රියා කිරීම, සමගිව උපකාර කිරීම"යි. ඒ වන විට ලෝකයේ සමුපකාර ව්‍යාපාරය ඇරඹී නොතිබිණි.
සමුපකාර ව්‍යාපාරය
සමුපකාරය යන වචනය සමඟ බහුලව යෙදෙන අනෙක් වචනය නම් ව්‍යාපාරය යන්නයි. මේ දෙක එක්වීමෙන් 'සමුපකාර ව්‍යාපාරය' නම් පදය සෑදේ.
යන පදයට එක් නිශ්චිත අරුතක් නැති නමුත් සමුපකාරය නම් පදයට ඇත්තේ එක් නිශ්චිත අරුතක්ම පමණක් බවත්, එය 1844 දී රොච්ඩේල්වල ඇරඹි දැන් ලෝකයේ සාර්ථකව පවත්වාගෙන යන පොදුජන ව්‍යාපාරයට භාවිත සිංහල පාරිභාෂික පදය බවත් මීට පෙර අපි මෙහි දීර්ඝ වශයෙන් විස්තර කළෙමු. එහෙත් 'ව්‍යාපාරය' යන්න ගතහොත් එහි අනෙක් පැත්තය. 'ව්‍යාපාරය' යන්න ඉංග්‍රීසි පද කිහිපයක් සඳහාම යෙදෙන බව මලලසේකර ශබ්ද කෝෂයේ දැක්වේ. එහි 'ව්‍යාපාරය' යන පදයේ අර්ථය ලෙස කෙලින්ම ඒ ඉදිරියෙන් දක්වා ඇති ඉංග්‍රීසි පද කිහිපයක් මෙසේය.
business / campaing / enterprise / movement / concern / project / scheme
මේ අතරින් කිහිපයකට Oxferd ශබ්ද කෝෂයේ දී ඇති අරුත්වල සිංහල තේරුම් මෙසේය :
Bisiness - වෙළද ව්‍යාපාරය, මිලදී ගැනීමේ සහ විකිනීමේ ධාරිතාව, වාණිජ සංවිධානය, ආයතනය, සාප්පුව
compaign - (නාම) යමක් උදෙසා සංවිධානාත්මකව නිරතවීම, යුධ මෙහෙයුම (ක්‍රියා) ව්‍යාපාරයක නිරත වෙනවා, ව්‍යාපාරයකට සහභාගිවනවා
enterprise - විශේෂයෙන් ධෛයර්යක් අවශ්‍ය වන අසීරු ව්‍යාපෘතිය
movement - (යන ක්‍රියාවෙන් ව්‍යුත්පන්න වූ පදයකි) පොදු වශයෙන් සමාන අරමුණු ඇති හා එකම මූලධර්මයන් අනුගමනය කරන ජන කණ්ඩායම.
ව්‍යාපාරයක් කී විට ඕනෑම කෙනෙකුගේ සිතට ඉබේම එන්නේ වෙළද ව්‍යාපාරයකි. සමුපකාරයේද වෙළද ව්‍යාපාරයක් තිබේ. තවත් ආකාරයකට කියනවානම් සමුපකාරය ඇරඹුනේ රොච්ඩේල් වෙළද සැල සමගිනි. ඒ නිසා සමුපකාර ව්‍යාපාරය යනු සමුපකාර වෙළද සැල ලෙස කෙනෙකුට පෙනීයාම පුදුමයක් නොවේ. එනයින් සමුපකාරය කී වනම කඩයක් සිතේ මැවීමද පුදුමයක් නොවේ.
නමුත් සමුපකාර ව්‍යාපාරය යයි අප සිංහලෙන් කියනදේට ඉංග්‍රීසියෙන් cooperative Business යයි කියන්නේ නැත. මන්දයත් සමුපකාරය යනු හුදු වෙළදසැලැක්ම පමණක් නොවන හෙයිනි. එයට ඉංග්‍රීසියෙන් කියන්නේ cooperative movement කියාය. සමුපකාර වෙළද සැල, මහජන ව්‍යාපාරයක් බවට පත්වීම පිළිබඳව ඉදිරියේදී සාකච්ඡා කෙරෙනු ඇත.
ජනතාව ඒකරාශීකරවූ සංවිධාන - associations
රොච්ඩේල්හි වෙළද සැල ඇරඹෙන්නට පෙර ලෝකයේ, විශේෂයෙන්ම එංගලන්තයේ බොහෝ සමුපකාර සමිති තිබූ බවක් කියවේ. එහෙත් ඇත්තටම ඒ පැවතුනේ සමුපකාර සමිතිද කියා ප්‍රශ්ණ කල යුතු වේ . මන්ද යත් ලෝකයේ මුල්ම සමුපකාරය 1844 රොච්ඩේල් වල ඇරඹි වෙළද සැල නම්, ඊට පෙර පැවතියේ සමූපකාර නොවන බව පැහැදිලි වන හෙයිනි. මන්ද යත් ඒවායේ රොච්ඩේල් සමිතියේ තිබූ මූලිකම ගුනාංගය වන ස්වීය ප්‍රාග්ධනය නොතිබූ හෙයිනි.
එබැවින් ඊට පෙර පැවති ඒවා සහයෝගීතා ව්‍යාපාර ලෙස හැදින්විය යුතු වේ. මෙහිදී සිංහල භාෂාව භාවිතයේදී අවුල් සහගත තත්වයක් ඇති වන්නේ සමුපකාරය කීවත්, සහයෝගීතාවය කීවත් ඒ දෙකටම ඉංග්‍රීසියෙන් යෙදෙන්නේ cooperation යන පදය පමනක් නිසාය. සහයෝගීතා ව්‍යාපාරවල ආරම්භය ලෙස ඉතිහාසය සනිටුහන් කරන්නේ 1794 ඔක්ස්ෆෝඩ් කෝරළයේ මොන්ග්වෙල් හි ඇරඹි සුභසාධක වෙළද සැලයි. මෙය බැරින්ටන් නැමත් බිෂොප් තුමෙකු විසින් අරඹන ලදැයි කියවේ. මෙය ලොව මුල්ම සහයෝගීතා වෙලද සැල ලෙස සැලකේ.
ඊටත් පෙර ලොව නන් දෙස පොදු ජන සංවිධාන ක්‍රියාත්මක විය. මාගරට් ඩිග්බ් ගේ "ලෝක සමුපකාර ව්‍යාපාරය" (සිංහල පරිවර්තනය එස්. විජේසූරිය) නැමති ග්‍රන්තයේ දැක්වෙන පරිදි ග්‍රීක හා රෝම අධිරාජ්‍යයන්හි සුවිසල් නගරවල අන්‍යොධාරය මත පදනම් වූ රක්ෂණ සමිති හා ශ්‍රමදාන සංගම් පැවතිනි. රුසියාවේ ක්‍රියාත්මක වූ ආටල් නැමති කම්කරු සමිති සාමූහික නිශ්පාදන සංවිධාන වූයේය. හෙන්රි ඩබ්. වුල්ෆ්සන් ගේ Poples Banks නැමති ග්‍රන්ථයේ සඳහන් වන පරිදි බොහෝ රටවල සකසුරුවම් කම සඳහා සංවිධාන තිබී ඇත. ස්පාඤ්ඤයේ "කම්පානියා ගල්ලේගා" පෘතෘගාලයේ "සොසියාඩේ ෆමිලියාර්" ඉතාලියේ "මොන්ටි මුමාරී", රුසියාවේ "වටගාස්", ඉංදියාවේ "නිධි" සහ "ආකර්" උදාහරණයෝ වෙති.
මේවා ජනයා ඒකරාශීකරවු සංවිධානයෝ (associations) වෙති. ඒ කාලයේ බහුලව පැවති benevolent Societies (මිත්‍රත්වයේ සමිති, යහ සාධක සමිති) ද පොදු ජනයා එක්රැස් කොට ඔවුන්ට පාරිශෝගික ද්‍රව්‍ය සහ සේවා සහනදායී මිලට ලබා දීමට ගත් උත්සාහයෝ වූහ.
ලොව මුල්ම සමුපකාර සමිතිය ලස පිලිගැනෙන The Rochdale Society of Equitable Pioneers එනම්, රොච්ඩෙල්හි සාධාරණ පුරෝගාමීන්ගේ සමිතියේ නමේ සමුපකාරය යන පදය පවා නොමැති බව ප්‍රකට කාරණයකි. එසේ නම් එය සමුපකාරය යන නම ලද්දේ කෙසේ ද? එය වටහා ගනු සදහා එම සමිතිය පිහිටුවන්නට ආසන්න කාලයේ තත්ත්වය පිලිබදව අවධානය යොමුවිය යුතුවේ. එනම් 1830 පමණ සිට එංගලන්තයේ කාර්මික දිස්ත්‍රික්කවල ක්‍රියාත්මකවූ නොයෙකුත් සාමූහිකක්‍රියාකාරකම් කවරේදැයි විමසා බැලිය යුතු වේ. මේ වකවානුවේ වූ එවැනි ක්‍රියාකාරකම් සැබවින්ම රොච්ඩෙල් සමිතිය පිලිබද සංකල්පය, රොච්ඩෙල් පුරෝගාමින් ලෙස පසුව හදුන්වනු ලබන 'රොච්ඩෙල්හි සාධාරණ පුරෝගාමින්ගේ සමිතියේ' සමාරම්භකයින්ට ඒ සදහා අවශ්‍ය දී ගුණය ලබා දෙන්නට ඇත.
සමුපකාර ව්‍යාපාරයේ ඉතිහාසය හදාරනු කැමැත්තන් විසින් ඒ වකවානුවේ එංගලන්ත ඉතිහාසය හැදෑරීම අත්‍යවශ්‍ය කාරණාවකි. මන්දයත් ඊට පසුබිම සැකසුනේ එකල එංගලන්තයේ මතුනොව සමස්ථ යුරෝපයේම පැවති සමාජ ආර්ථික තත්වය නිසා වන හෙයිනි. විශේෂයෙන්ම 18 වන සියවසේ මැද භාගයේ සිට 19 වන සියවසේ මැද භාගය දක්වා දිවෙන කාර්මික විප්ලවය සහ කෘෂිකාර්මික විප්ලවය ඒ තත්වය උද්ගත කලේය. නව ආර්ථික විද්‍යාවක් මෙන්ම නව දර්ශනවාදයක් බිහිවිය. පංති ස්ථර වෙනස්විය. බලය පැරණි ඉඩම්හිමි රදළ පැලැන්තිය වෙතින් නව කම්හල් හිමි බූර්ෂුවා පංතිය වෙත මාරු විය. රජය විසින් සම්මත කරවා ගන්නාලද බොහෝ අණ පනත් ජනයාගේ ජීවන තත්වය පහත හෙලීය. පොදු ජනතාව දරුණු ලෙස පීඩාවට පත්ව සිටියෝය. මෙහි ප්‍රතිපලයක් ලෙස සමාජ ප්‍රතිසංස්කරණ ව්‍යාපාර බිහිවූ අතර මහජන උද්ගෝෂණ සහ කැලඹිලි අධික විය. ඇත්තටම කියනවානම් මේ යුගය එංගන්ත ඉතිහාසයේ අදුරුතම කාල පරිචිඡේද වලින් වඩාත් ඉදිරියෙන් සිටින එකය.
රොබර්ට් ඕවන් 1771 - 1858
රොබර්ට් ඕවන් මහතා යනු කවරෙක්ද ඔහුගේ ක්‍රියාකාරකම් මොනවාද යන්න වටහා නොගෙන සමුපකාරය යනු කුමක්ද යන මාතෘකාව ඔස්සේ අධ්‍යයනයක් කල නොහැකිය. ඇත්තටම නූතන සමුපකාර ව්‍යාපාරයේ පියා ලෙස සලකනු ලබන්නේ රොබර්ට් ඕවන් මහතාය. එනමුත් 1844 දෙසැම්බර් මාසයේ 10 දා රොච්ඩේල් පුරෝගාමීන්ගේ සමිතිය පිහිටවන අවස්ථාවේදී ඔහු ඊට සහභාගි නොවූ බවද සාකච්ඡාවට භාජනය කල යුතු කරුණකි.
ඔවන් මහතා සාර්ථක ව්‍යාපාරිකයෙක් විය. වයස අවුරුදු 30 වන විට ඔහු නිව්ලානාක් ප්‍රදේශයේ මහා පරිමාන කපු කම්හලක හිමිකරු විය. එහෙත් ඔහු ශ්‍රමික ජනයා කෙරේ උණුවන හදැත්තේ විය. මේ නිසාම ඔහු ශ්‍රමික ජනයාට වාසි ලැබෙන නීති සකස්කරවා ගන්නට දැඩිසේ අරගල කළේය. අවුරුදු දහයකට අඩු දරුවන්ගේ සේවය ලබා ගැනීම තහනම් කිරීම, වැඩ කරන දිනය පැය දහයකට සීමා කරවා ගැනීම යනාදිය ඒ අතරින් ප්‍රමුඛය.
ඔහු සහයෝගීතා ගම්මාන නැමති කොළණි ක්‍රමයක් හදුන්වා දුන්නේය. මේවා කොමියුන, රට තුල ජනපද යනාදී නම්වලින්ද හදුන්වනු ලැබීය.
ඔහුගේ ස්වපාලන කොළනි තුල සහයෝගීතාව ක්‍රියාත්මක විය. ඒවායේ වැසියන්ට ඉදුම් හිටුම්, කෑම බීම ලබා දුන් අතර ඔවුන් සාමූහික ලෙස නිශ්පාදන කාර්යයයේ යෙදිය යුතු විය. මේවාට මුදල් යොදවන ලද්දේ ඕවන් මහතාද ඇතුලු ධනවතුන්ය. ජනපදිකයෝ කිසිදු ආයෝජනයක් සිදු නොකලෝය. ඔවුන් සිය ශ්‍රමය කැපකලා පමණි. මේ නිසා ඔවුන්ගේ ජීවන තත්වය සෑම අතින්ම සමාන වූ අතර ඔවුන්ගේ දරුවෝ දිවා සුරකුම් මධ්‍යස්ථාන වල හොදින් රැකබලා ගන්නා ලදුව නිරෝගීව වැඩුණෝය. කාන්තාවන්ට නියමව තිබුනේ පිරිමින්ට වඩා අඩු වැඩ කොටසකි. මෙවැනි කොලණි 03 ක් විය. ඕබිස්ටන්, රැලහයින් සහ ක්වීන් වුඩ් යනු ඒවායි.
ඔහු මේ ක්‍රමය ක්‍රියාත්මක කරන ලෙස රජයටද බල කලේය. දුප්පතුන් අතට ඩෝලයක් (යැපීම් මුදලක්) දෙනවාට වඩා ඒ මුදල ආයෝජනය කර ඔවුන් කලමනාකරණය කිරීමෙන් ඇතිවිය ප්‍රතිඵල යහපත් බව ඔහු පෙන්වා දුන්නේය. මෙලෙස පිහිටුවන ගම්මාන හෝ ජනපද සාමූහික ක්‍රමය පදන්ම් කොට ගත් ඒවා විය යුතු යයි ඔහු අදහස් කලේය. ඕවන් මහතාගේ සහයෝගීතා ක්‍රමයේ අඩංගුවූයේ සියලු දෙනා සහයෝගයෙන් සහ සමානාත්මතාවයෙන් සියලු අවශ්‍යතා ඉටුකර ගත යුතුය යන මූලධර්මයයි. අන්‍යොනයාධාරයට වඩා ආත්මාධාරය ඉස්මතු වූ සෙයක් පෙනී ගියේය. මෙය ඕවන් වාදය නමින් හැදින්වුණි. ඕවන් වාදය අනුගමනය කල ඇත්තෝ ඕවනයිට් වරු නොඑසේනම් ඕවන්වාදීහු ලෙසින් හැදින්වුනෝය. අදේවවාදී වූ මේ මේ ඕවනයිට්වරුන් පල්ලියටද රජයටද එකසේ පෙනෙන්නට බැරිව සිටි 'විප්ලවවාදී' කණ්ඩායමකි. ඕවන්වාදය ලෙස පසුව හැදින්වූයේ ඕවන් මහතා විසින් සමාජ ප්‍රතිසංස්කරණ සඳහා ඉදිරිපත් කරන ලද සමස්ථ දර්ශනයයි.
හාම්ස්බර්ත් ලෝක ඉතිහාස සංග්‍රහයේ iii වන වෙලුමේ රොබර්ට් ඕවන් මහතාගේ මේ ක්‍රියාවලිය ගැන මෙසේ සඳහන් වෙයි : "කමියුනිස්ට් වාදය තුලින් සමාජ ප්‍රතිසංස්කරණ දෙසට වෘත්තීය සමිති ව්‍යාපාරය යොමුවූ අතර එහි දිශානතිය සමුපකාරය වෙත විය. ස්වීය නිශ්පාදන පරිභෝජනය සඳහා ශ්‍රමික ජනයා පොලඹවන වැඩසටහනක් ඕවන් පවත්වාගෙන ගියේය. ඔහුගේ උත්සාහයන් සාර්ථකවූයේ ඉතා අසීරුවෙනි. අසංවර්ධිත දක්ෂතා සහිත ශ්‍රමිකයන්ගේ ප්‍රජාවක් නියෝජනය කරන සහයෝගීතා වෙළද සැලක් ස්ථාපනය කරන්නට බොහෝ අසාර්ථක උත්සාහයන්ගෙන් පසුව ඔහු සමත් විය. මෙය ඕවන්ගේ අදහස් ක්‍රියාත්මක කරන්නට බ්‍රිතාන්‍ය ශ්‍රමික පංතිය ප්‍රායෝගිකව ගත් උත්සහ ලෙස පෙන්වා දිය හැකිය. ආනෝල්ඩ් බොනර් සිය "බ්‍රිතාන්‍ය සමුපකාරය" නම් ග්‍රන්තයේ සඳහන් කරන පරිදි සමුපකාර ව්‍යාපාරය ඇරඹියේ දහනමවන ශතවර්ෂයේ මුල් භාගයේ ඕවන් වාදයත් සමගිනි. ඕවන් වාදයත් සමඟ සිද්ධාන්ත, පරමාදර්ශ සහ පුරාවෘත්ත ද වෙනත් අනුභාවද (inspirations) පැන නැංගේය. ඒවා සමුපකාරය සමඟ අත්වැල් බැදගති.
ඕවන් මහතාගේ සමුපකාර ගම්මාන ඇති කිරීමේ යෝජනාව දිලිදු ශ්‍රමික ජනයා දුකින් මුදා ගැනීම අරමුණු කොට ගත්තකි. විශේෂයෙන්ම ට්‍රක් පනත නිසා අතිශය පීඩාවට පත්ව සිටි ජනයා ඉන් මුදවා ගැනීම ඔහුගේ අපේක්ෂාව විය. ට්‍රක් පනත යනු සේවකයාට ගෙවිය යුත් වැටුප මුදලින් ගෙවනු වෙනුවට පාරිභෝගික භාන්ඩ වලින් ලබා දීමයි. මේ ක්‍රමය නිසා ඔවුන්ගේ සොච්චම් වැටුප දෙආකාරයකට සූරා කනු ලදී. ඒ බාල මිශ්‍ර පාරිභෝගික භාන්ඩ වැඩි මිලට විකිනීමෙනි. ශ්‍රමික ජනයා මෙයින් මුදවා ගැන්ම සඳහා ඔහු පළමුව කලේ අමිශ්‍ර භාන්ඩ සාධාරන මිලට විකිනීම සඳහා ට්‍රක් වෙළද සැලක් පිහිටුවීමයි. මෙයද සමුපකාර වෙළද සැල් ක්‍රමයට පදනම සැපයීය.
ෆ්රැන්සිස් විලියම් නැමති කම්කරු සටන් ගැන ග්‍රන්ථ කිහිපයක්ම පලකල ගත්කරුවාගේ 'විභූශිත චාරිකාව' (magnificiat journyey) නම් ග්‍රන්තයේ දැක්වෙන පරිදි 'රොබර්ට් ඕවන් යනු මුල්ම ඉංග්‍රීසි සමාජවාදියාය. සමුපකාරය යන පදය සහයෝගීතාවය යන්නෙන් වෙන්කොට හදුනාගත් ප්‍රථමයා ඔහුය. 1827 වසරේ ඔහු තමා විසින් පල කරන ලද කෝපරේටිව් මැගසින් නම් වාර ප්‍රකාශනයේ එම සංකල්පය ඉදිරිපත් කර ඇත.
කාල් මාක්ස් සිය සුපක්‍රට දාස් කැපිටාල් නැමත් ආර්ථික සිද්ධාන්ත ග්‍රන්තයේ රොබර්ට් ඕවන් මහතා සමුපකාර ව්‍යාපාරයේ පියා ලෙස හදුන්වා දෙයි. එහි මෙසේ සඳහන් වේ : "වර්ෂ 1810 ඉක්මෙත්ම ඕවන් ශ්‍රමිකයන්ගේ වැඩ පැය ගණන සීමා කල යුතුය යන සිය නයාය ඉදිරිපත් කරමින් නිව් ලැනාක් හි සිය කම්හලේ එය ක්‍රියාත්මක කලේය. මෙය කමියුනිස්ට් මනෝරාජ්‍යවාදීන්ගේ නිර්දය උපහාසයට බදුන් විය. දෙවනුව ඔහු ළමුන් සඳහා අධ්‍යාපනයද තුන්වනුව ශ්‍රමිකයන් සඳහා සමුපකාරයද යන ඒවා ගැන අදහස් පලකොට ක්‍රියාත්මක කරවීය. අදවන විට (1950 පමණ වන විට) එදා උපහාසයට ලක්වූ පැය දහයේ වැඩ දිනය නීති පොතට ඇතුලත් වී තිබේ. දෙවැන්නද කම්හල් නීතියේ එලෙසින්ම සලකා බලා ඇත. තුන්වැන්න (එනම් සමුපකාරය) ප්‍රතිගාමී වංචනිකයන්ට මහත්තැන් පෙනුමක් ලබා දෙන ඇදුම් කට්ටලයක් බවට පත්වෙලාය".
කෙසේ වුවත් පසු කලෙක ශ්‍රමිකයන්ගේ සංවිධාන පිහිටුවීමට වැඩි වශයෙන් කාලය යෙදවීම නිසා ඕවන් මහතා සමුපකාර ව්‍යාපාරයෙන් (සහයෝගීතා ව්‍යාපාරයෙන්) ඈත් වූයේය. මහාචාර්ය එන්. හෝල් සහ ඩබ්. වොට් කින්ස් යන දෙදෙනා විසින් රචිත 'සමුපකාරය' නම් ග්‍රන්තයේ දැක්වෙන පරිදි සමුපකාර නාමයෙන් වෙළද සැල් පවත්වාගෙන යාම නොවටනා දෙයක් යයි ඔහු පවසා තිබේ. එසේම එම වෙළද සැල් සිය සහයෝගීතා ව්‍යාපාරයට සම්බන්ධ නොවේ යයි ඔහු බොහෝ වාරයක් ප්‍රසිද්ධියේ කියා සිටියේය.
ඕවන් වාදියෙකු වූත්, රොච්ඩේල් සමිතිය පිහිටවන අවස්ථාවේ ඊට සහභාගීවූත් ජෝර්ජ් ජේකොබ් හෝලියෝක් සිය "රොච්ඩේල් පුරෝගාමීන්ගේ ඉතිහාසය" නම් ග්‍රන්ථයේ ඕවන් මහතා ගැන කියන්නේ මෙයයි. "ඔහු (ඕවන් මහතා) සමුපකාර ව්‍යාපාරය නිර්මාණය කල තැනැත්තා නොවේ. හරියට ජෝර්ජ් ස්ටීවන්සන් ගේ දුම්රිය ඇන්ජිම මෙනි. දුම්රිය ඇන්ජිම සොයා ගැන්මට පූර්වයෙන් වූ දහස් ගනන් මිනිසුන්ගේ ඥානය සහ ඔවුන්ගේ පර්යේෂණ හේතු වන්නට ඇත. එනමුත් දුම්රිය එන්ජිම ප්‍රත්‍යක්‍ෂයක් බවට පත්කල ප්‍රථමයා ස්ටීවන්සන්ය.
සමාජවාදය හා සමුපකාරය
ජෝර්ජ් ජේකොබ් හෝලියෝක් මහතාගේ 'රොච්ඩේල් පුරෝගාමීන්ගේ ඉතිහාසය' නම් ග්‍රන්ථයේ රොබර්ට් ඕවන් මහතාගේ කටයුතු විග්‍රහ කැරෙන මතු දැක්වෙන පාඨය ඔහු ගැන මතු නොව සමුපකාරය ගැනද අදහසක් පාඨකයෙකු තුල ඇති කරවයි. ඒ ග්‍රන්ථයේ 12 හා 13 වන පිටුවල එන ඒ පාඨය මෙසේය: "මේ දවස්වල රොච්ඩේල්වල නිතරම ප්‍රකාශ කැරුණු රොබර්ට් ඕවන් මහතාගේ දෘෂ්ඨිය පේෂකාරයන් (රොච්ඩේල් පුරෝගාමීන්) විසින් නැවත සලකා බලන ලදී. සමාජවාදය වෙනුවෙන් පෙනී සිටින මේ අයගේ කවර අඩුපාඩුවක් තිබුනද ඔවූහු හාම්පුතුන්ට යමක් කියා දුන්හ. වානිජ්‍ය යනු එක්තරා පද්ධතියක් බවත්, ඒ පද්ධතිය තුල වැඩකාරයා මෙන්ම මෙන්ම හාම්පුතාද වහලකු වන බව වටහා දීමයි. ඒ වෙනස ඇත්තේ ඔවුන් බැද තබන දම්වැලේය. හාම්පුතා රිදී දම්වැලකින් ගැට ගසනු ලැබ ඇති අතර වැඩකාරයා තඹ දම්වැලකින් ගැට ගැසනු ලැබ ඇත. ඒ නිසා හාම්පුතාටද වැඩි යමක් කරන්නට ඒ කියන්නේ වැඩිදුර අතපය දිග හරින්නට ඉඩකඩ නොමැත.
මේ කාලයේ මොවුන් එනම් ඕවන් වාදීන් සමාජවාදීන් ලෙස හැදින්වුණු බව සී.ඊ.එම් ජොආඩ් නම් සමාජ විද්‍යාඥයා විසින් රචිත An Introduction to Modern Political Theory නම් ග්‍රන්ථයේ සඳහන් වෙයි. : "ප්ලේටෝ ගේ රිපබ්ලික් නැමති ග්‍රන්ථය සමාජවාදී පාලන ක්‍රමය යන්න නියමාකාරයෙන් අර්ථනිරූපනය කල මුල්ම කෘතිය වෙයි. රොබර්ට් ඕවන් වැනි කෙනෙක් ප්‍රජාවේ නිර්මාතෘන්ගේ අදහස් වලට අනුකූලව ජීවත්වන මිනිසුන් සඳහා ආදර්ශ ප්‍රජා ගොඩනැංවීමෙන් සිය සංකල්පයට ස්ථාවර නිදසුන් සපයන්ට සමත් විය. බොහෝ දෙනාගේ නිදසුන් යථාවක් බවට පත්වූයේ නැත. එසේ කලා යයි කිවහැකි පුද්ගලයෙකු වූවේ නම් ඒ ඕවන්ම පමණි".
ඕවන්ගේ දර්ශනය සමාජවාදය සමගද සදාචාරවාදය සමඟද බැදී පැවතුණු බව ප්‍රකටය. එෆ්. හොල් සහ ඩබ්. පී වොට්කින්ග් විසින් රචිත 'Co-Operation' නැමති ග්‍රන්ථයේ 74 වන පිටුවේ ඕවන් වාදය ගැන සහ එහි අනුගාමිකයන් ගැනද මෙසේ කියති. : "........ එතෙකුදු වුව මේ මින්ස්සු, සියලු සමාජ ජීවිතයේ ප්‍රමුඛ දැය වන, නිතරම සමාජවාදය යනුවෙන් සඳහන් කරනු ලබන 'සමුපකාරය' විසින් සමාජය එක්වරම නව සදාචාරාත්මක ලොවකට ඔසවා තබනු ඇත යන ඕවන්ගේ අනාවැකිය විශ්වාස කලෝය." චාර්ල්ස් ගයිඩ් නම් ප්‍රකට සමුපකාර ගත්කතුවරයා සිය පාරිභෝගික සමුපකාර සමිති නම් ග්‍රන්ථයේ රොච්ඩේල් පුරෝගාමීන් ගැන කියන්නේ ඔවුන් සමාජවාදීන් වූ බවයි. "මේ පුරෝගාමීහු පේශකාරයෝ වූහ. ඔවුන් අතරින් ඇතැමෙක් සමාජවාදීන් යනුවෙන්ද හදුන්වනු ලැබූ ඕවන්ගේ අනුගාමිකයෝ වූහ. අනෙක්හු චාටිස්ට්වරු වූහ".
සමාජවාදය යනුවෙන් දැන් හැදින්වෙන සංකල්පයේ ආරම්භක අවධිය රොබර්ට් ඕවන්ගේ සමය බව ඉතිහාසඥයෝ පවසති. ලොකයේ ප්‍රථම සමාජවාදීන් ලෙස සැලකෙන්නේ ප්‍රංශයේ සෙන්ට් සයිමන් (1760-1825) සහ චාර්ල්ස් ෆුරියර් (1772-1837) යන දෙදෙනාය. ඔවුන්ගේ සමකාලීනයෙකු වූ නමුත් කණිෂ්ඨයකු වූ රොබර්ට් ඕවන් එංගලන්තයේ ප්‍රථම සමාජවාදියා ලෙස සැලකේ. මේ තිදෙනාම මුල් යුගයේ සමාජවාදීන් වූ නමුදු කාර්ල් මාක්ස් (1818-1883), පෙඩ්රික් ඒංගල්ස් (1820-1890) සමඟ එක්ව ඉදිරිපත් කල කොමියුනිස්ට් ප්‍රකාශනය නම් කෘතියේ සඳහන් 'විද්‍යාත්මක සමාජවාදයෙන්' ඔවුන්ගේ සංකල්පය ප්‍රතිස්ථාපනය කෙරිණි.
මොවුන්ගේ සමාජවාදය ගැන සන්සන්දනයක් මහාචාර්ය විශ්වා වරණපාලගේ "දේශපාලන මතිමතාන්තර" නම් ග්‍රන්ථයේ අන්තර්ගතය. එහි 87 සිට 91 දක්වා පිටුවලින් උපුටා ගන්නා ලද සටහනක් මෙසේය :
සෙන්ට් සයිමන් කර්මාන්තයන්ට ආවඩමින් පුද්ගලික ව්‍යාපාර විශේෂඥයන්ගෙන් සමන්විත මණ්ඩල මගින් පාලනය කිරීම සඳහා න්‍යායක් ඉදිරිපත් කළේය. එවැනි මණ්ඩලයක් මගින් ආර්ථික ක්‍රමයේ සමතුලිත තත්වයක් ඇතිවෙතැයි ඔහුගේ අපේක්ෂාව විය. මුළු ධනේශ්වර ක්‍රමයේම ඇති සෑම දුබලතාවක්ම දුරු කරන්නට ඔහු අපේක්ෂා කළේ එවැනි වැඩ පිළිවෙලක් නිර්මාණය කිරීමෙනුයි.
චාර්ල්ස් පුරියර්. ධනේශ්වර ක්‍රමය වෙනුවට සංවිධානය කරන්නට දිරි ගත්නේ සමුපකාර සමාගම් රැසකි. රාජ්‍යය ආර්ථික ක්‍රමය මගින් පාලනය කිරීම ගැන පුරියර් බෙහෙවින්ම විරෝධය පෑවේය. රොබර්ට් ඕවන් ධනපතික්‍රමය සංශෝධනය කරන්නට අදහස් කළේ රාජ්‍යයේ සහයෝගය ඇතිව සංවිධානය කරගත් වෘත්තීය සමිති හා සමුපකාර ව්‍යාපාරයන්ද අධ්‍යාපනය ප්‍රචලිත කිරීමේ වැඩපිළිවෙලක්ද සමගිනි. මේ තිදෙනා පැහැදිලිව අවබෝධ කොටගත් කරුණක් නම් සමාජ ප්‍රශ්ණ සෑම විපර්යාසයකටම පදනම් වන බවයි. පොදු ජනතාවගේ හිතසුව සැලසීම අත්‍යවශ්‍ය දෙයක් බව ඔවූහු පිලිගත්හ. කිනම් සමාජ ක්‍රමයක හෝ මිනිසා අතර තරගය පවතින විට එම සමාජ ක්‍රමයේ සමෘද්ධියටත්, ප්‍රගතියටත් එය හානිකර වේ.
මේ කරුණු වලින් පැහැදිලි වන්නේ මුල් යුගයේ සමුපකාර දාර්ශනිකයන් ලෙස ගැණෙන රොබර්ට් ඕවන්ගේ අනුගාමිකයන් සමාජවාදීන් ලෙසද එකල හැදින්වුණු බවයි.
ඉහතින් සඳහන් කෙරුණු චාල්ස් ගයිඩ් ගේ Consumer Cooperative Societies නම් ග්‍රන්ථයේ සමුපකාරය හා සමාජවාදය යනුවෙන් පරිච්ඡේදයක්ම ඇත. ඉන් උපුටාගත් කරුණු කිහිපයකි මතු දැක්වෙන්නේ:
සමුපකාරය යන පදය රොබර්ට් ඕවන් සහ ඔහුගේ අනුගාමිකයන් විසින් නව සමාජ විධික්‍රමයක් සඳහා මුලින්ම භාවිතා කරනු ලැබූ අවස්ථාවේ එය එකල භාවිතාවේ පැවති සමාජවාදය යන්නට සමාන අරුත් දෙන්නක් ලෙස හැගවිණි. මේ කාලයේ සමාජවාදය යන්න වැහැරුවේත් සීමිත කණ්ඩායමකි. ඊට වඩා ප්‍රචලිතව තිබූ පදය නම් කමියුනිස්ට් වාදය (Communism) ය. ඇතැම්විට එය කමියුනිස්ට් වාදය සමගද සම අරුත් ගැණෙන සේ වහරනු ලැබීය. ප්‍රංශයේදී පුරියර්ගේ අනුගාමිකයන් මෙන්ම එංගලන්තයේ ඕවන්ගේ අනුගාමිකයන්ද සමුපකාරය යන්න භාවිතා කලේ තරගකාරීත්වය (copmetition) නැමති පදයට එරෙහි අරුත් නගන පදයක් ලෙසිනි. මෙලෙස එක්දහස් අටසිය හෑත්තෑගණන් වල අගභාගය වන තෙක්ම සමුපකාර ව්‍යාපාරය (Cooparative Movement) සහ සමාජවාදී ව්‍යාපාරය (Socielist Movement) එකිනෙක හා අවිභේදනීය අයුරින් බැදී තිබිණි.
නමුත් මේ කාලයේ, එනම් එක්දහස් අටසීය හැත්තෑ ගනන් වල අගභාගයේදී විභේදනය ඇරඹිණි. මාර්ක්ස් වාදී සමාජවාදය, සමාජවාදය නව අරුතකින් ඉදිරිපත් කරමින් පෙනී සිටියේය. ශ්‍රමිකයා විසින් නිර්මාණය කරණු ලබන අතිරික්තය ප්‍රාග්ධනය තුලටම අවශෝෂණය වීම නිසා ඇතිවන පංති භේදයට එරෙහිව නැගී සිටින ව්‍යාපාරයක් ලෙස අලුත් සමාජවාදය පෙනී සිටියේය. එහි ක්‍රියා පිළිවෙල වූයේ පංති සටනකි; එහි කුළු ගැන්වීම සනිටුහන් කරනු ඇත්තේ විප්ලවයකිනි. සමුපකාරිකයන්ට අනුව ශ්‍රමිකයා යනු ප්‍රාථමික නිශ්පාදයයාය. ඔහු දූෂ්‍ය කිරීමෙන් වන්නේ අගතියකි. එහෙත් ඔහු පාරිභෝගිකයෙකුද වෙයි. ඒ නිසා ඒ ගැනද සලකා බැලිය යුතුය. පාරිභෝගිකයා යනු කිසිවක් කිසිදා නිපදවන්නෙකු නොවේ. පංති අතර පරතරය පාරිභෝජනයේ වෙනස්කම් නිසා ඇතිවන්නකි. ඒ අයුරින් මේ කණ්ඩායම් දෙක ඔවුනවුන්ගේ මතවාදයන් අන්‍යොනයව ලඝු කොට සැලකීම නිසා ඉහත සදහන් බෙදීම ඇතිවුනයි සැලකිය හැකිය.
අවසාන වශයෙන් සමුපකාරය, ප්‍රාග්ධනය ගොඩ නැංවීමට එරෙහි නොවෙයි. එය යෝජනා කරන්නේ ක්‍රමාණුකූල හා සාමකාමී මගකින් නව ආකාරයක ප්‍රාග්ධනයක් ගොඩනැංවිය යුතු බවයි.
මේ අනුව සමුපකාරය යනු බුර්ෂුවා (bourgeois), එනම් ප්‍රාග්ධනයට ආවඩන සහ ආත්මාර්ථකාමී අයුරින් භෞතිකවාදී ආම්පන්නයක් නැතහොත් මෙවලමක්, අවියක් ලෙස සමාජවාදීන් විසින් සලකනු ලැබීය. එය නිර්ධනයන් වෙත භෞතික දෑ, එනම් පාරිභෝජන ද්‍රව්‍ය ලබා දෙන්නට කටයුත් කරන පිළිකුල් කලයුතු ව්‍යාපාරයකැයි ඔවූහු කීහ. සමාජවාදීන් යනු සුප් බදුනකට විකිනෙන්නට කැමති පිරිසක් නොවේ යයි ප්‍රකට සමාජ වාදියෙකුගේ කියමනක් ඇත.
කමියුනිස්ට්වාදීන් හා සමාජවාදීන් අතර වෙනස මාක්ස් හා ඒංගල්ස් දෙදෙනා විසින් රචිත කමියුනිස්ට් ප්‍රකාශනයේ පැහැදිලිව සදහන්වේ. (මෙහිදී කමියුනිස්ට් වරුන් යනු මාක්ස්ට පසුව නිර්ධන පංති ව්‍යාපාරයට එක්වූ අය ලෙසත් සමාජවාදීන් යනු ඔහු පෙර නොයෙකුත් සමාජ ප්‍රතිසංස්කරණ සිදුකල අය ලෙසත් හදුනා ගත යුතුය). ඒ අනුව සමාජවාදීන් කණ්ඩායම් තුනකි. එනම් :
-
නව කම්හල් ක්‍රමය නිසා බිහිවූ ධනේශ්වර පංතිය වෙනුවට වැඩවසම් පංතිය සුදුසුයයි සිතන්නන්
-
පවත්නා නව ධනේශ්වර ක්‍රමය සුදුසු යයි සිතන නමුත් එහි ඇති විශමතා දුරුකල යුතු යයි සිතන්නන් සහ
-
ප්‍රජා ත්‍රාන්ත්‍රික අයිතීන් දිනා ගැනීමට කටයුත් කරන සුළු ධනේශ්වර පංතිය සහ නිර්ධන පංතිය
මේ කණ්ඩායම් තුනම සමාජයට ආර්ථික විමුක්තිය ලබාදෙන පොදු ප්‍රාග්ධන ක්‍රමයක් ගැන නොසිතන හෙයින් ඔවුන් තවදුරටත් සමාජවාදීන් (Sociolist) ලෙස ගැනීම නුසුදුසුය.
(මෙම ලිපියේ ඉතිරි කොටස සඳහා ජූලි - දෙසැම්බර් කලාපය බලන්න)
©එස්. නන්දලාල්
සමුපකාර ව්‍යාපාරයේ ආරම්භය හා වර්ධනය පිලිබඳ සංක්ෂිප්ත සටහනක්
මෙම ලිපිය තුලින් ප්‍රධාන කොට උත්සාහ ගන්නේ සමුපකාර ව්‍යාපාරය පිලිබඳ සංක්ෂිප්ත, නමුත් ව්‍යාපාරයේ ප්‍රධාන සමස්ථය පිලිබඳ දැනුවත් කමක් එක්වන සටහනක් තැබීමටයි. මෙහිදී ව්‍යාපාරයේ ඈත ඉතිහාසය පිලිබඳවත් එම ඓතිහාසික පදනම් මත ගොඩනැගෙන නූතන ඉතිහාසය පිලිබඳවත්, සමුපකාර ව්‍යාපාරයේ ජාත්‍යන්තර දේහය වන ICA ආයතනය පිලිබඳවත් හැකුලුම් ගැන්වූ විස්තරයක් මෙම ලිපියට අන්තර් ගත වේ. ලිපියේ අන්තර්ගත සමහර කාරනා පිලිබඳ වඩා සවිස්තරාත්මකව දැනුවත්වීමකට මෙම සඟරාවේ පලවී ඇති "සමුපකාරය හදුනාගනිමු" ලිපිය වෙත යොමුවන්න.
ව්‍යාපාරයේ සම්භාව්‍ය ඉතිහාසය
පලමු සමුපකාර ව්‍යාපාරය කොතනින් පැන නැගුනාද කාරණය පිලිබඳ යම් විවාදාත්මක තත්වයක් පවතියි. අපගේ අධ්‍යයනය සංක්ෂිප්ත එකක් වන නිසා එය පහසු කර ගැනීමට මෙම විවාදාත්මක හබයන් ගෙන් මදක් මෑත්ව ව්‍යාපාරයේ ඉතිහාසය සටහන් කිරීමට උත්සාහ කරමු. සමුපකාර ව්‍යාපාරයේ ඉතිහාසය පිලිබඳ ගැඹුරට හා සවිස්තරාත්මකව අධ්‍යයනය කරන්නෙකුට මෙම විවාදාත්මක තත්වයන් හා අනෙකුත් වැඩිදුර තොරතුරු සඳහා මුද්‍රිත සාහිත්‍යයක් මෙන්ම අන්තර්ජාලය ඔස්සේ ඉලෙක්ට්‍රොනික සාහිත්‍යයක් ද නූතනයේදී විවරව ඇත.
විවාදාත්මක හබයන් කෙසේ වෙතත් නූතන සමුපකාර ව්‍යාපාරයේ ඉතිහාසය කාර්මික විප්ලවය මත පාදක වන බවට විවාදයක් නැත. කාර්මික විප්ලවය 19 වන සියවසේදී එංගලන්තය හා ප්‍රංශය මූලික කොට ගෙන පැන නැගිනි. එය මනුෂ්‍ය වර්ගයා වෙත දරුණු ප්‍රහාරාත්මක බලපෑමක් සිදු කලේය. එය මිනිස් ඉතිහාසය වෙනස් කලේ සමකාලීන මනුෂ්‍ය ජීවිත තුලට දරුණු පීඩනයක් මුදා හරිමිනි. ගොවීන් ගොවිබිම් වලින් වියෝ කර නාගරික ශ්‍රම බලකාය වෙත පලවා හැරිනි. විරැකියාව උග්‍ර වූ අතර බොහෝ දෙනා නාගරික පරිශ්‍ර තුල ඉබාගාතේ ඇවිදගෙන ගියහ. ශිල්ප ශ්‍රේණි වෙනුවට නූතන ශ්‍රම බිම් හෙවත් කර්මාන්තශාලා (Factory) ආදේශ විය. වැඩවසම් සබඳතා වෙනුවට ධනවාදී සබඳතා ආදේශ වෙමින් පැවතිනි. කම්කරු ප්‍රමිතීන් අතිශය ම්ලේජ්ජ වූ අතර දීර්ඝ වැඩ පැය ගණනකට කම්කරුවන්ට ලැබුනේ අතිශය සොච්චම් වැටුපකි. කම්කරුවන්ගේ ඒකරාශීවීම් තහනම් කෙරිනි. මෙම දුක්කිත තත්වයට එරෙහිව සමාජීය සිතන්නන් අතරින් ප්‍රධන ව්‍යාපෘතීන් කිහිපයක් බිහිවූ බව පෙනේ. සමුපකාර ව්‍යාපාරය ඉන් එකක් වන අතර චාට්ස් වාදය, වෘත්තීය සංගම් ව්‍යාපාරය, කම්කරු දේශපාලන ව්‍යාපාරය අනෙක් ව්‍යාපෘතීන් වේ.
පලමු සමුපකාරික ආයතනය ලෙස හමුවන්නේ ස්කොට්ලන්තයේ නැගෙනහිර අර්විෂයාර් හි පෙන්වික් රෙදි වියන්නන්ගේ සමිතියයි (Fenwick Weavers' Society). ඒ 1761 වර්ෂයේදීය. මෙම සමිතිය දේශීය කම්කරුවන්ට සහන මිලට ඕට් ධාන්‍ය පිටි (Oatmeal) අළෙවිකරනු ලැබිණි. අනතුරුව මෙහි සේවාවන් ඉතිරිකිරීම් හා ණය ගණුදෙනු දක්වාත්, විදේශ ගමන් හා අධ්‍යාපන කටයුතු දක්වාත් ව්‍යාප්ත විය. 1810 දී සමාජ ප්‍රතිසංස්කරණවාදී රොබර්ට් ඕවන් හා ඔහුගේ සම චින්තකයන් විසින් ඕවන්ගේ මාමන්ඩියගේ නිව් ලැමාර්ක් මෝල මිලදී ගත් අතර ඔවුන් හොද මට්ටමේ කම්කරු ප්‍රමිතීන් එම වැඩබිමට හදුන්වා දුන්නේය. අඩු මිලැති සිල්ලර වෙළද සැල් මගින් ලාභය කම්කරුවන් අතර බෙදා හැරියේය. ඕවන් සමුපකාරික ව්‍යාපාරයට වැදගත්වන්නේ සමුපකාරය පිලිබඳ අදහස තම රචනාවන් හා දේශනයන් ඔස්සේ වර්ධනය කල පුරෝගාමියා නිසාය. ඔහු සමුපකාරික ප්‍රජාවන් ග්ලැස්ගෝව්, ඉන්ඩියානා හා හැම්ප්ෂයර් යන ස්ථාන වල ස්ථාපිත කලේය. විලියම් කිංග් සමුපකාරිකයා (The Cooperator) නමින් පුවත් පතක් තුලින් ඕවන්ගේ සිතීම් ඉදිරිපත් කලේය. එසේ නමුත් මෙම ව්‍යාපෘතීන් 1828 දී බිද වැටීමට ලක්විය.
රොච්ඩේල් සමානතා පුරෝගාමියෝ - Rochdale Equitable Pioneers
රොච්ඩේල් සමානාත්මතා පුරෝගාමීන් ස්ථාපිත වන්නේ 1844 දීය. මොවුන් අනිවාර්යයෙන්ම හදුනා ගැනෙනු ඇත්තේ පලමු සාර්ථක සමුපකාර ව්‍යවසායකත්වය හා නූතන සමුපකාර ව්‍යාපාරයේ සමාරම්භකයන් වශයෙනි.1 සමුපකාර ව්‍යාපාරය සඳහා මූලධර්ම2 (Principles) හදුන්වා දුන්නේ මොවුන්ය. අද අප ඒවා රොච්ඩේල් මූලධර්ම (Rochdale Principles) ලෙස හදුන්වයි. මෙම සමූහය එංගලන්තයේ රොචිඩේල් හි පදිංචි පේෂ කාර්මිකයන් හා වෙනත් ශිල්පීන් 28 දෙනෙකුගෙන්3 සමන්විත විය. ඔවුන් ආහාර ද්‍රව්‍ය අළෙවිකරන ඔවුන්ගේම අළෙවිසැලක් ගොඩ නැගුවේය. ඔවුන්ගේ මෙම පුරෝගාමිත්වයෙන් වසර 10 ක් ඉක්ම යන විට එංගලන්තය පුරා දහසකට අධික සමුපකාරික ආයතන බිහිවී තිබිනි.

රොච්ඩේල් පුරෝගාමීන්මූලාශ්‍රය : විකිපීඩියා නිදහස් විශ්ව කෝෂය / http://www.wikipedia.org
.

රොච්ඩේල් සමුපකාර සමිතියේ භාවිතා කල භාන්ඩ
මූලාශ්‍රය : Laurel Net Cooperative, a registered student organization, University of Texas - http://uts.cc.utexas.edu/~laurel/

රොච්ඩේල් සමුපකාර සමිතියේ ගබඩාව
මූලාශ්‍රය : විකිපීඩියා නිදහස් විශ්ව කෝෂය / http://www.wikipedia.org
රොච්ඩේල් මූලධර්ම - Rochdale Principles (1844)
රොච්ඩේල් පුරෝගාමීන් විසින් හදුන්වා දුන් මූලධර්ම යම් යම් විකරණයන්ට භාජනය වෙමින් අද දක්වාම සමුපකාර ව්‍යාපාරය තුල පැවතෙයි. එම නිසා රොච්ඩේල් මූලධර්ම හදුනා ගැනීම වැදගත්වේ.
-
විවෘත සාමාජිකත්වය Open Membership
-
ප්‍රජාතන්ත්‍රවාදී පාලනය Democratic control (one person, one vote).
-
කොටස් ප්‍රාග්ධනය සඳහා සීමිත පොලියක් ගෙවීම Payment of limited interest on capita
-
දේශපාලන හා ආගමික මධ්‍යස්ථතාවය Political and religious neutrality
-
මුදලට පමණක් වෙළදාම (ණය අනුග්‍රහයක් නොදක්වයි ) Cash trading (no credit extended)
-
අධ්‍යාපන ප්‍රවර්ධනය Promotion of education
ජාත්‍යන්තර සමුපකාර සංධානය (International Co-operative Alliance - ICA) හා එහි වර්ධනය
රොච්ඩේල් පුරොගාමීත්වයෙන් දශක හතරක ඇවෑමෙන් එනම් 1895 වසරේ අගෝස්තු 19 දින ලන්ඩනයේ පැවති සිය පලමු සම්මේලනය ඔස්සේ ජාත්‍යන්තර සමුපකාර සංධානය ඇරඹිනි. මේ සඳහා ආර්ජන්ටිනාව, ඕස්ට්‍රේලියාව, බෙල්ජියම, එක්සත් රාජධානිය, ඩෙන්මාර්කය, ප්‍රංශය, ජර්මනිය, හංගේරියාව, ඉන්දියාව, ඉතාලිය, නෙදර්ලන්තය, රුසියාව, සර්බියාව හා එක්සත් ජනපදය යන රටවලින් නියෝජිතයන් සහභාගි විය. මොවුහු සංවිධානයේ අරමුණු ස්ථාපිත කලහ. මෙම සංවිධානය අද වන විට ලොව විශාලතම රාජ්‍ය නොවන සංවිධානය බවට පත්ව ඇත.4 සමුපකාර ව්‍යාපාරයේ සංකල්පීය තලය හා ජාත්‍යන්තර ඒකාබද්ධතාවය නූතනයේ නියෝජනය කරන්නේ ICA ආයතනයයි.
රොච්ඩේල් මූලධර්ම තුලින් නූතන සමුපකාර මූලධර්ම විකාශනය වීම (1937 -1995)
ජාත්‍යන්තර සමුපකාර සංධානය සමුපකාර මූලධර්ම ලෙස රොච්ඩේල් පුරෝගාමීන්ගේ මූලධර්ම 1937 දී නිල වශයෙන් පිලිගත්හ. 1966 දී මෙම මූලධර්ම සමකාලීන තත්වයන් සැලකිල්ලට ගෙන පහත පරිදි විකරණයට බදුන් කරන ලදී.
-
විවෘත, ස්වේච්ඡා සාමාජිකත්වය Open, voluntary membership
-
ප්‍රජාතන්ත්‍රවාදී පාලනය Democratic governance
-
ස්කන්ධය සඳහා සීමිත ප්‍රතිදානයන් ගෙවීම Limited return on equity
-
අතිරික්තය සාමාජිකයන් අතර බෙදාහැරීම Surplus belongs to members
-
සාමාජිකයන් සහ පොදු ජනයා සමුපකාර මූලධර්ම පිලිබඳ දැනුවත් කිරීම Education of members and public in cooperative principles
-
සමුපකාර ව්‍යාපාර අතර සහයෝගීතාවය ( සමුපකාරය ) Cooperation between cooperatives
1995 වසරේදී සමුපකාර මූලධර්ම පිලිබඳ දීර්ඝ කතිකාවකින් පසු මෙම මූලධර්ම නැවත විකරණයට හා ප්‍රති නිර්වචනයකට ලක් කිරීමක් ජාත්‍යන්තර සමුපකාර සංධානය මගින් සිදු කරන ලදී. එහිදී සත්වන මූලධර්මය ලෙස "ප්‍රජාව පිලිබඳව සැලකිලිමත් වීම" එක්කෙරිනි.
-
Voluntary and Open Membership ස්වේච්ඡා හා විවෘත සාමාජිකත්වය
-
Democratic Member Control ප්‍රජාතන්ත්‍රවාදී සාමාජික පාලනය
-
Member Economic Participation සාමාජික ආර්ථික සහභාගිත්වය
-
Autonomy and Independence ස්වයංපාලනය හා ස්වෛරීභාවය
-
Education, Training and Information අධ්‍යාපනය,පුහුණුව හා තොරතුරු
-
Co-operation among Co-operatives සමුපකාර අතර සහයෝගීතාවය
-
Concern for Community ප්‍රජාව පිලිබඳ සැලකිලිමත් වීම
සමුපකාරය පිළිබඳ නිල නිර්වචනය (ICA - 1995)
1995 දී ජාත්‍යන්තර සමුපකාර සංධානය "සමුපකාර අනන්‍යතා ප්‍රකාශනය" නැමති ලියවිල්ල ඔස්සේ "සමුපකාරය"” යන්න සඳහා ලබා දී ඇති නිර්වචනය නූතන සමුපකාර ව්‍යාපාරය පිලිබඳ නිල නිර්වචනයයි.
A co-operative is an autonomous association of persons united voluntarily to meet their common economic, social, and cultural needs and aspirations through a jointly-owned and democratically-controlled enterprise.
සමුපකාරය යනු ස්වේච්ඡාවෙන් ඒකාබද්ධ වූ පුද්ගලයන් ගේ ස්වයංපාලිත සංගමයක් ඔස්සේ ඔවුන්ගේ පොදු ආර්ථික, සමාජීය, සහ සංස්කෘතික අවශ්‍යතා සහ අභිලාශයන් ඉටු කරන සාමූහික අයිතිය හා ප්‍රජාතාන්ත්‍රික පාලනය ඇති ව්‍යවසායකත්වයකි
සමුපකාර සාරධර්ම (ICA – 1995)
1995 දී අන්තර්ජාතික සමුපකාර සංධානය "සමුපකාර අනන්‍යතා ප්‍රකාශනය" තුලින් සමුපකාරය ව්‍යාපාරය සඳහා සාරධර්ම මාලාවක් ප්‍රකාශයට පත් කර ඇත.
Co-operatives are based on the values of self-help, self-responsibility, democracy, equality, equity and solidarity. In the tradition of their founders, co-operative members believe in the ethical values of honesty, openness, social responsibility and caring for others.ස්වෝපකාරය, ස්වයං වගකීම, ප්‍රජාතන්ත්‍රවාදය, සමානාත්මතාවය, සාධාරණත්වය හා සාමූහිකත්වය යන සාරධර්ම මත සමුපකාරය පදනම් වේ. එසේම ඔවුන්ගේ පුරෝගාමීන්ගේ සම්ප්‍රදාය අනුව සමුපකාර සාමාජිකයෝ අවංකත්වය, විවෘතභාවය, සමාජ වගකීම සහ අනෙකා පිලිබඳව ගරුකිරීම යන ආචාර ධර්ම පිලිබඳවද විශ්වාස කරති.
සටහන්
-
මෙයට සමකාලීනව ප්‍රංශ කම්කරුවන්ද සමුපකාර ආකෘතිගත කම්කරු නිශ්පාදන සමුපකාර සමිති ගොඩනැගූ බවට සාධක ඇත.
-
සමුපකාර ප්‍රතිපත්ති ලෙසින්ද හැදින්වේ
-
රොච්ඩේල් පුරෝගාමීන්ගේ නම්
James Smithies
John Scrowcroft
Charles Howarth
John Hill
William Cooper
John Holt
David Brooks
James Standring
John Collier
James Manock
Samuel Ashworth
Joseph Smith
Miles Ashworth
William Taylor
William Mallalieu
Robert Taylor
George Healey
Benjamin Rudman
James Daly
James Wilkinson
James Tweedale
John Garside
Samuel Tweedale
John Bent
John Kershaw
Ann Tweedale
James Maden
James Bamford
මූලාශ්‍රය : Laurel Net Cooperative, a registered student organization, University of Texas - http://uts.cc.utexas.edu/~laurel/ -
ජාත්‍යන්තර සමුපකාර සංධානය (ICA) සිය ගමන් මගෙහි පසුකල විශේෂිත සිදුවීම් වල පෙළ ගැස්මක් පහතින් දැක්වේ.
1895 ICA සංවිධානය ආරම්භ වීම 1896ICA සංවිධානය එහි දේශපාලනික මැදහත්බව සහතික කරයි1897 ICA සංවිධානය සමුපකාර දත්ත එකතු කිරීම අරඹයි1900 විධානය සාමාජික සංවිධාන (members organizations) 54 ක් දක්වා වර්ධනය වේ1909 ICA සංවිධානය "International Co-operative Bulletin" නමින් වාරික ප්‍රකාශනයක් ඉංග්‍රීසි, ප්‍රංශ හා ජර්මන් බසින් ප්‍රකාශයට පත් කෙරේ.(ලෝක සංග්‍රාම ද්විත්වයේදීම නොනැසී පැවති ආයතනය ICA සංවිධානයයි)1922 ICA සංවිධානය ජාත්‍යන්තර සමුපකාර බැංකු කමිටුව ස්ථාපිත කරයි (International Co-operative Banking). වර්ථමානයේ එය ජාත්‍යන්තර සමුපකාර බැංකු සංගමය ලෙස හදුන්වයි.1922 ICA සංවිධානය එහි ජාත්‍යන්තර රක්ෂණ කමිටුව ස්ථාපිත කල අතර අද එය ජාත්‍යන්තර සමුපකාර සහ රක්ෂණ පෙඩරේෂනය (International Co-operative and Mutual Insurance Federation - ICMIF) ලෙස හදුන්වයි.1923 ප්‍රථම ICA සමුපකාර දිනය සමරයි1937 ICA සංවිධානය සමුපකාර මූලධර්ම පිලිබඳ තම පලමු සමාලෝචනය සිදු කරයි.1946 ICA සංවිධානය එක්සත් ජාතීන් සමඟ කටයුතු කරන ප්‍රමුඛ රාජ්‍ය නොවන සංවිධානය බවට පත්වේ1951 ICA සංවිධානය ජාත්‍යන්තර කෘෂිකාර්මික සමුපකාර කමිටුව ස්ථාපිත කරයි. වත්මනේ එය ජාත්‍යන්තර කෘෂිකාර්මික සමුපකාර සංවිධානය (International Co -operative Agricultural Organisation - ICAO)1952 ICA සංවිධානය නිවාස සමුපකාර සමිති සඳහා කමිටුවක්ස්ථාපිත කරයි.1965 එක්සත් ජාතීන් ජාත්‍යන්තර සමුපකාර වර්ෂයක් ප්‍රකාශයටපත් කරයි.1966 ICA සංවිධානය සමුපකාර මූලධර්ම පිලිබඳ තම දෙවනසමාලෝචනය සිදු කරයි.1966 කෘෂිකාර්මික කමිටුවේ උප කමිටුවක් ලෙස ධීවර උපකමිටුව ස්ථාපිත කරයි. 1976 දී එය ස්වාධීන සංවිධානයක් බවට පත්වේ.1968 ආසියා ෆැසිපික් කලාපීය කාර්යාලය විවෘත කරයි.1976 සංචාරක සමුපකාරය පිලිබඳ ජාත්‍යන්තර සංගමය - International Association of Tourism Co-operative – TICA බිහිවේ1982ICA සංවිධානය එහි ප්‍රධාන කාර්යාලය ලන්ඩනයෙන් ජිනීවා වෙත රැගෙන යයි. 1990ICA සංවිධානය අමරිකානු රටවල් සඳහා කලාපීය කාර්යයාලයක් අරඹයි1992ICA සංවිධානය විමධ්‍යගතකරණ (decentralization) ක්‍රියාවලියක් අරඹයි. අප්‍රිකා, ඇමරිකා, ආසියා සහ ෆැසිපික්, යුරෝපා ලෙස කලාපයන් හතරක් ස්ථාපිත කරයි. 1994ICA සංවිධානය යුරෝපය සඳහා කලාපීය කාර්යයාලය විවෘත කරයි. 1995ICA සංවිධානය සමුපකාර මූලධර්ම හා සාරධර්ම සංශෝධනය කරන අතර සත්වන මූලධර්මය ලෙස “ප්‍රජාව පිලිබඳ සැලකිලිමත් වීම” (Concern for Community) ඇතුලත් කෙරේ.1995එක්සත් ජාතීන් පළමු ජාත්‍යන්තර සමුපකාර දිනය -1st UN International Day of Co-operatives - ප්‍රකාශයට පත් කරයි. 1996ICA සංවිධානය ජාත්‍යන්තර සෞඛ්‍ය සමුපකාර සංවිධානය ගොඩනගයි. 1999ICA සංවිධානය එක්සත් ජාතීන්ගේ ආහාර හා කෘෂිකර්ම සංවිධානය සමඟ කෘෂිකාර්මික සමුපකාර සංවර්ධනය සඳහා අවබෝධතා ගිවිසුමක් ඇතිකරගනී.ICA සංවිධානය පුමතිරිමය සමානතාව - Gender Equality - ප්‍රවර්ධනය පිලිබඳ උපක්‍රමයන් සම්මත කරගනී.2001ICA සංවිධානය සිය දෙවන අවබෝධතා ගිවිසුම මානව ජනාවාස පිලිබඳ එක්සත් ජාතීන්ගේ මධ්‍යස්ථානය - United Nations Centre for Human Settlements (UNCHS-Habitat) - සමඟ තිරසාර මානව ජනාවාස (sustainable human settlements) සඳහා සමුපකාරික දායකත්වය වෙනුවෙන් ඇතිකරගනී. 2002ලෝක කම්කරු සංවිධානය (ILO) සමුපකාර ප්‍රවර්ධනය පිලිබඳ නිර්දේශ අංක 193 (Recommendation No. 193) සම්මතකර ගන්නා ලදී.2003ICA සංවිධානය සිය නීති හා ස්ථාවර නියෝග (Rules and Standing Orders) නෝර්වේ රාජ්‍යයේ ඔස්ලෝ නුවරදී පැවැත්වූ මහ සමළුවේදී සම්මත කර ගනී. 2004ප්‍රශස්ත රැකියා සහ දුගීබව දුරලීම සඳහා පොදු සමුපකරික න්‍යාය පත්‍රයක් ගොඩ නැගීම උදෙසා ICA සංවිධානය සහ ලෝක කම්කරු සංවිධානය (ILO) අතර අවබෝධතා ගිවිසුමක් විසින් ඇතිකර ගනී. 2004ICA සංවිධානය විසින් HIV - AIDS සමඟ සටන් කිරීම සඳහා උපක්‍රමයන් සම්මත කර ගනී2005ICA යුරොපා කාර්යාලය බෙල්ජියමේ බ්‍රසල්ස් වෙත ගෙන යයි.2006සංවිධානය සමුපකාර පුවත් සඳහා නව වෙබ් අඩවියක් දියත් කරයි
මූලාශ්‍රය : ICA සංවිධානායේ වෙබ් අඩවිය www.ica.org
කියවීම්
මුද්‍රිත
-
Gutmann, Rudolf and others
(1967), The Organization and Management of Co-operative Societies,Union of German Consumer Co-operative Societies. Berlin -
නන්දලාල්, එස්
(2006). සමුපකාර අධ්‍යයනයට ප්‍රවේශයක්. ගාල්ල. කර්තෘ ප්‍රකාශන
ISBN 955-96928-1-x
වෙබ් සම්පත්
-
ගාඩියන් සඟරාව - http://www.infed.org/Laurel Net Cooperative, a registered student organization, University of Texas -http://uts.cc.utexas.edu/~laurel/
-
විකිපීඩියා නිදහස් විශ්ව කෝෂය - http://www.wikipedia.org/
©ප්‍රභාත් ගලගමගේ
රොබර්ට් ඕවන් - සමාජ ප්‍රතිසංස්කරණ වාදියා (1771-1858)
රොබර්ට් ඕවන් සමුපකාර ව්‍යාපාරයේ පූර්වතම න්‍යායඥයා මෙන්ම ව්‍යාපාරය ප්‍රායෝගිකව අත්හදා බැලූ පූරෝගාමීයෙකුද වේ. ඔහු සමාජ න්‍යායඥයෙකු මෙන්ම පෙර පාසල් ක්‍රමය, වැඩිහිටි අධ්‍යාපනය ආදී ක්ෂේත්‍ර කිහිපයක් වර්ධනයට දායකවූ එම යුගයේ බිහිවූ සුවිසල් ධාරිතාවයකින් යුතු පුද්ගලයෙක් විය
රොබර්ට් ඕවන් උපත ලද්දේ 1771 දී එංගලන්තයේ මිඩ් වෝල්ස් හි නිව් ටවුන් නම් කුඩා වෙළඳ නගරයේය. ඔහුගේ පියා සැදෑල හා ලෝහ ද්‍රව්‍ය වෙළදාමක නිරත විය. මව සමෘද්ඔිමත් ගොවි පවුලකින් පැමිනි තැනැත්තියක විය. සත් දෙනෙකුගෙන් යුත් පවුලක සයවැන්නා වූ ඕවන් අවුරුදු දහය වන තෙක් පාසල් අධ්‍යාපනය ලැබූ අතර වසර අනතුරුව වසර කිහිපයක් රෙදි පිළි වෙළද සැලක රැකියාවේ නිරත විනි. ඔහු වේගයෙන් වර්ධනය වන පෙහෙකම් නගරයක් වූ මැන්චෙස්ටර් වෙත තරුණ වියේදීම සංක්‍රමණය වූ අතර ඕවන්ගේ හැකියාවන් හා ධාරිතාවය තකතෙක් වී ද යත් වයස අවුරුදු 19 දී ඕවන් මැන්චෙස්ටර් කපු මෝලේ කලමනාකරු බවට පත් විය. 1874 හො 1875 තුල ඔහු මැන්චැස්ටර් හි Chorlton Twist සමාගමේ කලමනාකරු මෙන්ම කොටස්කරුවකු බවට පත්විය. ඔහු නිව් ලැමාර්ක් මෝලේ අයිතිකරු ඩේව්ඩ් ඩෙලේ ගේ දියනිය වූ කැරොලයින් ඩෙලේ සමග 1899 දී විවාහ විය.
සියවසක් පෙර විසූ මිනිසෙකුගේ මෙම පෞද්ගලික තොරතුරු මෙසේ සුරකිව ඇත්තේ ඇයි. ඒ ඕවන් කිහිප ආකාරයකට ලෝකයට වැදගත් වන නිසාය. එනම් ඔහු එම යුගයේදී බිහිවූ විශිෂ්ඨතම සමාජ හා අධ්‍යාපන ප්‍රතිසංස්කරණ වාදීයා වූ නිසාය. ඔහු සමාජවාදය පිලිබඳ න්‍යායයන් ගොඩ නැංවූවෙකුද වන නිසාය. ඔහු ව්ශ්ව ප්‍රසිද්ධියට පත් වන්නේ මේ සියල්ලටමත් වඩා සමුපකාර ව්‍යාපාරයේ සමාරම්භකයා වශයෙනි.

A portrait of Robert Owen - by John Cranch, 1845
රොබර්ට් ඕවන්ගේ ආලේඛ්‍ය චිත්‍රයක්මූලාශ්‍රය : විකිපීඩියා නිදහස් විශ්ව කෝෂය / http://www.wikipedia.org
1793 දී ඕවන් නගරයේ සාහිත්‍ය හා දර්ශන සමාජයට තේරී පත්විය. එය ඕවන්ගේ සමාජ ප්‍රතිසංස්කරණ අදහස් මුවහත් වීමේ ආරම්භය විය. තුන් වසරක ඇවෑමෙන් ඔහු තම මාමන්ඩියගේ කපු මෝල මිලට ගත්තේය. ඔහුගේ ප්‍රතිසංස්කරණ අදහස් ක්‍රියාවට නැංවීම ඇරඹුවේ මෙතුලිනි. ඔහු සිය කම්කරුවන් සඳහා තත්වයෙන් උසස් නිවාස, පාසල් හා කුඩා දරුවන් සඳහා පෙර පාසල්, ක්‍රීඩා පිටි, වැඩිහිටියන් සඳහා සන්ධ්‍යා පන්ති හා සමුපකාර සිල්ලර වෙළද සැල් වල පූර්වගාමී ආකෘතිය ගන්නා වෙළද සැල්ද ගොඩනැංවීය. ඕවන්ගේ A New View of Society කෘතිය 1813 දී ප්‍රකාශයට පත්වූ අතර විශේෂයෙන් පරිසරය පුද්ගල ගති ස්වාභාවයට සිදුකරන දැඩි බලපෑම හා ධනවාදයේ දුශ්ටත්වය සමග සටන් වැදීමේදී පල්ලිය දක්වන අසමත්කම පිලිබඳ තම න්‍යායන් ඒ තුලින් ඔහු ඉදිරිපත් කලේය.1916 දී මානුෂ චර්යා සාධනය සඳහා New Lanark community's Institute ඇරඹීය. එය ප්‍රජා මධ්‍යස්ථානයක්, රංගන ශාලාවක්, සාමයික සමළු හලක් ලෙස විවිධාකාර වූ සේවාවන් ඉටු කලේය. මෙහි අනෙක් පියවර ලෙස ඔහු සැලකුවේ - ඔහුගේ සිහිනය වූ - පංති රහිත සමාජයක් ගොඩනැංවීමයි.

නිව් ලැමාර්ක් හි රොබර්ට් ඕවන්ගේ නිවස
මූලාශ්‍රය : විකිපීඩියා නිදහස් විශ්ව කෝෂය / http://www.wikipedia.org
ෆැක්ටරි තුල වයස අවුරුදු නවය ට අඩු ළමයින් සේවයේ යොදවා ගැනීම හා වයස දහ අටට අඩු ළම්න් සඳහා පැය 12කට සීමා කිරීම ඇතුලත් ෆැක්ටරි පනත 1819 දී සම්මත කෙරුනේ ඕවන්ගේ අතිශය උනන්දු සහගත මැදිහත්වීම නිසාය.ඕවන් සමුපකාර ගම්මාන වැඩපිලිවෙලත් සැකසූ අතර ඒ සඳහා විශාල වියදමක් ඇස්තමේන්තු විය. එහෙත් සමුපකාර ගම්මාන ඔස්සේ ක්ෂණිකව දුගීබව ගබ්සාවනු ඇති බවට ඔහු තර්ක කලේය. බොහෝ නගර තුල ඇත්තේ දුරාචාරය, අපරාධ හා ශෝකාන්ත බවත් යෝජිත ගම්මාන තුල සැමවිටම, සමෘද්ධිමත් බව, ක්‍රියාකාරී බුද්ධිමත් බව, නිවරදි මග පෙන්වීම හා සතුට පවතිනු ඇති බවටත් ඔහුත් ඔහුගේ අදහස විය. නමුත් මූල්‍ය අනුග්‍රහය සඳහා ඕවන් කල ඉල්ලීම රජය විසින් ඉවත දමන ලදී. එහෙත් ඕවන් හා ඕවන්වාදීන් විසින් සමුපකාර ජනපද කිහිපයක් ප්‍රදේශ කිහිපයක පිහිටුවීය. නමුත් මෙම ජනපද අසාර්ථකත්වය අත්විදිනු ලැබිනි. මින් පසු ඕවන් Grand National Consolidated Trades Union නම් වෘත්තීය සමිතිය සංවිධානය කරමින් වෘත්තීය සමිති ව්‍යාපාරය හා තමාගේ සමුපකාරික මූලධර්ම ඒකාබද්ධ කිරීමට උත්සාහ තලේය. ඒංගල්ස් පවසන්නේ ඕවන්ගේ සමුපකාර සමිති මගින් “වෙළෙන්දා සහ කර්මාන්ත කරුවා සමාජමය වශයෙන් කිසිසේත්ම අවශ්‍ය නොවන්නේය යන්න ප්‍රායෝගික වශයෙන් ඔප්පු කිරීම හෝ යටත් පාරාසෙයින් සිදුවී ඇති බවයි”.මෙම මානවවාදියා 1858 දී ලොවින් සමුගත්තේය. ඕවන්ගේ දර්ශනය කාල් මාක්ස් විසින් පසු කාලීනව මනෝරාජික සමාජවාදය (utopian socialism) ලෙස හැදින්වීය. ඕවන්ගේ දර්ශනය තුල ප්‍රධාන සිතීම් ත්‍රිත්වයක් දැකගත හැක. එනම්,
- පුද්ගලයා ඔහු දිවි ගෙවන පරිසරයේ නිශ්පාදනයක් වේ. මේ නිසා කිසිවෙකු තමාගේ චේතනාවන්ට හා ක්‍රියාවන්ට වගකිවයුතු නැත. මන්ද ඔහුගේ සම්පූර්ණ චරිතයම පුද්ගලයාගෙන් ස්වාධීනව පරිසරය විසින් ගොඩනංවා ඇති හෙයිනි. සියළු ආගම් එකම ආකාරයේ නිරර්ථක පරිකල්පනයකින් යුතු බව.
- ෆැක්ටරි ක්‍රමයට අකමැති වූ ඕවන් ගෘහීය ක්‍රමයක් (cottage system) සඳහා සහය දැක්වීය
ඉහත අදහස් ඕවන්ගේ අධ්‍යාපන හා කම්කරු ප්‍රතිසංස්කරන සඳහා දෘඩතරව බලපෑ බව පැහැදිලිය. පෙඩ්රික් ඒංගල්ස් “සමාජවාදය මනෝ රාජ්‍යයෙන් විද්‍යාවට" යන තම ප්‍රකට කෘතිය තුල ඕවන් හැදින්වූයේ “අති උදාරයයි කිව හැකි හා ළදරුවෙකුගේ මෙන් අකලංක චරිතයක් ඇත්තෙකු සහ මිනිසුන් අතර උපන් දුර්ලභ ගණයේ නායකයෙකු” ලෙසිනි. මෙය ඕවන් පිලිබඳ අතිශය සාධාරණ ඉදිරිපත් කිරීමක් බව පෙනේ.
කියවීම්
මුද්‍රිත
-
ඒංගල්ස්, පෙඩ්රික්
සමාජවාදය මනෝරාජ්‍යයෙන් විද්‍යාවට, අනුවාදය උ.මු අබයරත්න, ප්‍රගති ප්‍රකාශණ මන්දිරය, මොස්කව්
වෙබ් සම්පත්
-
ජාත්‍යන්තර සමුපකාර සංධානය - http://www.ica.org/
-
Laurel Net Cooperative, a registered student organization, University of Texas - http://uts.cc.utexas.edu/~laurel/
-
විකිපීඩියා නිදහස් විශ්ව කෝෂය - http://www.wikipedia.org/
-
රොබර්ට් ඕවන් කෞතුකාගාර වෙබ් අඩවිය - http://robert-owen-museum.org.uk/
